අයවැය - ජනතා අපේක්ෂා


රාජ්‍ය අයවැය යම් මූල්‍ය වර්ෂයකට අදාළ වාර්ෂික මූල්‍ය සැලැස්මක් වන අතර, එය රජයේ අපේක්ෂිත ආදායම් සහ වියදම් පිළිබඳ විස්තරාත්මක ලේඛනයක් මෙන්ම අනුමැතියක් ලෙස සැලකේ. ඒ අනුව ඕනෑම රටක ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධානතම ලියැවිල්ලක් ලෙස රාජ්‍ය අයවැය හඳුනාගත හැකිය.

අයවැය ලේඛනය රටේ ආර්ථික දිශානතිය හා අනාගත සංවර්ධන මාර්ගය පිළිබඳව ද පැහැදිලි දර්ශනයක් ලබා දෙයි. එබැවින්, පෞද්ගලික අංශ ආයෝජකයෝ පවා තම ආර්ථික තීරණ ගැනීමේ දී මෙය මූලික මාර්ගෝපදේශයක් ලෙස භාවිත කරති.

සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල වාර්ෂික අයවැය ලේඛනය රජයේ ආර්ථික ප්‍රතිපත්තිය, එහි වෙනස්කම් සහ අනාගත පියවර පිළිබඳව ඍජු ප්‍රකාශනයක් ලෙස ද ක්‍රියා කරයි. එසේම අයවැය මගින් රජය තම මැතිවරණ ප්‍රකාශනයට පමණක් සීමා නොවී තම ආර්ථික ප්‍රතිපත්තියේ සංශෝධන හා මූල්‍ය මගපෙන්වීම් සමාජයට ඉදිරිපත් කරයි. ඒ අනුව රාජ්‍ය අයවැය ලේඛනයක ප්‍රධාන අරමුණු අතර ආර්ථික වර්ධනය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, දරිද්‍රතාව අඩු කිරීම සහ සමාජ සුබසාධනය වැඩිදියුණු කිරීම, යටිතල පහසුකම් හා රාජ්‍ය සේවා ශක්තිමත් කිරීම, උද්ධමනය පාලනය කිරීම සහ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම යන අරමුණු විශේෂයෙන් අවධාරණය වේ. රටක අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යනු, දිගු ක්‍රියාවලියක එක් අවස්ථාවක් පමණක් වේ. අයවැය සකස් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම වසර පුරා යන ක්‍රියාවලියකි. මුදල් අමාත්‍යාංශය මූලිකත්වයෙන් සකස් කරන අයවැය මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අතර, එය අනුමත වීම පාර්ලිමේන්තු මත පදනම් වේ. අයවැය අනුමත වූ පසු, ප්‍රකාශිත ආදායම් සහ වියදම් ක්‍රියාත්මක කිරීම, විගණනය සහ වාර්ෂික සමාලෝචනය කරනු ලැබේ. මෙවන් සංකීර්ණ ක්‍රියාවලියක් වන අයවැය ඉදිරිපත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම රටේ මහජනතාව, ආයෝජකයන් සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු සියලු‍ පාර්ශ්වකරුවන්ගේ දැඩි අවධානයට ලක්වන කරුණක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් ගැඹුරු සහ අභියෝගාත්මක ආර්ථික අර්බුදයෙන් ක්‍රමිකව මිදෙමින් පවතින බව පැහැදිලිය. රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ඵලදායී ප්‍රතිඵල මේ වන විට දෘශ්‍යමාන වී ඇත. විශේෂයෙන්ම, දැඩි පීඩන තත්වයක් යටතේ මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුවත්, අර්ථවත් ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව පෙනී යයි. මෙවන් අභියෝගාත්මක ආර්ථික පසුබිමක් මත, ජාතික ජන බලවේගය රජය 2026 වර්ෂයට අදාළ අයවැය සකස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ යෝජනා සකස් කරමින් පවතී. නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත මෙම අයවැය, ආර්ථික ස්ථායිකරණයෙන් ඉදිරියට ගොස්, පුළුල් ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ අරමුණින් නව ආර්ථික වැඩපිළිවෙළක් හඳුන්වා දෙනු ඇති බවට අපේක්ෂා කෙරේ. වත්මන් රජයේ ආර්ථික දිශානතියට අනුව, මෙම අයවැය මගින් නිෂ්පාදන මූලධර්ම මත පදනම් වූ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම, ජාතික ආර්ථිකයට ඍජුව සම්බන්ධ නොවූ ජන කොටස් සක්‍රීයව ආර්ථිකය හා බද්ධ කිරීමට අවශ්‍ය උපාය මාර්ග හඳුන්වා දෙනු ඇත. ඒ සමගම, ආර්ථිකය ශක්තිමත් වීමේ වැඩසටහනට අනුකූලව අල්ලස් සහ දූෂණ අවම කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට රජය වැඩි අවධානය යොමු කර ඇත. ඒ අනුව, 2026 වර්ෂයට නියමිත අයවැය මගින් ඉදිරිපත් විය හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ පිළිබඳව විශ්ලේෂණාත්මකව සලකා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.

ජාතික ජන බලවේගයේ නව රජය විසින් ඉදිරිපත් කරනු ලබන මෙවර අයවැය ලේඛනය, ඔවුන්ගේ දෙවැනි අයවැය ලේඛනය ලෙස විශේෂ වැදගත්කමක් ලබාගෙන ඇත. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් වාමවාදී ආර්ථික අදහස් මත පදනම් වූ ප්‍රතිපත්ති ඉදිරිපත් වුව ද, මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා රැකීමේ හා ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙළක අවශ්‍යතාව වත්මන් රජය හොඳින් තේරුම්ගෙන ඇති බව රජයේ ක්‍රියාකාරීත්වයෙන් මනාව පෙන්නුම් කරයි. එබැවින් මෙම අයවැය ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය නැවත නිර්වචනය කර ඉදිරියට ගෙන යාම සඳහා වූ අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. 2025 අයවැය ලේඛනයේ දී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල මත පදනම්ව, මෙවර අයවැය ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළෙහි දිගුවක් ලෙස දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල අයවැය ඉදිරිපත් වූ පසු වසර මැද හෝ අවසානයේ දී අතිරේක මුදල් ඉල්ලීම් දක්නට ලැබෙන නමුත් පසුගිය වසරේ දී රජය එවැනි ඉල්ලීම් නොකිරීම ඔවුන්ගේ මූල්‍ය විනය පිළිබඳ දැඩි බැඳීමක් පෙන්වයි. එසේම රාජ්‍ය ආදායම අයවැය ලේඛනයේ දී ඇස්තමේන්තු ගත කළ පරිදි ඉපැයීමට රජය සමත් වූ අතර, අයවැය හිඟය අපේක්ෂිත මට්ටමට පවත්වා ගැනීමට ද හැකි වී ඇත. මේ සියල්ලම ප්‍රතිඵලයක් ලෙස වඩාත් ඵලදායී ආර්ථික කාර්ය සාධනයක් අත්පත් කරගත් වර්ෂයක් ලෙස පසුගිය වර්ෂය නම් කළ හැකිය. පසුගිය වසරේ දී ආර්ථිකය සියයට පහක වර්ධන මට්ටමක පවත්වා ගැනීමට සමත් වූ බව ද දැක්විය හැකිය. ඒ අනුව, මෙවර 2026 අයවැය ලේඛනය රජය ආර්ථික විනය, ප්‍රතිසංස්කරණ, හා ආදායම් කළමනාකරණය පිළිබඳව අනුගමනය කරන ප්‍රායෝගික හා ස්ථායී දර්ශනයක් ලෙස පෙනී සිටී.

ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ දිශානතිය සකස් කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය කරුණක් වෙයි. ඒවා ධනාත්මක ලෙස ගත යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව අතර පවතින වැරැදි අවබෝධයක් වන්නේ, මූල්‍ය අරමුදල සමග ඇති එකඟතා නිසා රජය තම ආර්ථික සුබසාධනය සඳහා දායකත්වය අහිමි කරගෙන ඇති බවයි. එය වැරැදි අදහසකි. ඇත්ත වන්නේ, රටේ ආර්ථික උත්පාදන හැකියාවට අනුකූලව වියදම් සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වන අතර, එසේ නොකිරීම නිසා ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක් වී ඇත. එමෙන්ම, අනාගත අර්බුදවලට මුහුණ නොදීමට අවශ්‍ය යෝජනා මූල්‍ය අරමුදල හරහා ලබා දී ඇති බව දේශපාලනඥයන් සහ මහජනතාවට පැහැදිලි විය යුතුය. එබැවින්, මූල්‍ය අරමුදල සමග ඇති එකඟතා සාර්ථකව ක්‍රියාත්මක කිරීම, රටේ ආර්ථික ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වන බව අවධාරණය කළ හැකිය.

අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් මූලික මගපෙන්වීම් ගණනාවක් හඳුනාගත හැකි වේ. දේශීය ආර්ථිකය ඉතා සීමිත සම්පත් පරිසරයක ක්‍රියාත්මක වන තත්වයක් තුළ, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව වියදම් සැලසුම් කිරීම රජය අත්‍යවශ්‍ය තීරණයක් ලෙස ගෙන ඇත. විශේෂයෙන්, පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ගෙන යාම හා ඒවා පාලනය කිරීමට සිදුවේ. මෙය ධනාත්මක පියවරක් වන අතර, රාජ්‍ය බදු ආදායම සියයට පහළ මට්ටමක පවත්වාගෙන යාම ද සලකා බැලිය යුතු කරුණකි. ඒ හරහා ප්‍රාථමික ශේෂය යහපත් මට්ටමක පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිමක් සකස් කර ඇත. එබැවින් බලයේ සිටින රජය මෙම ප්‍රතිපත්ති රාමුව තුළ සිටිමින් ආර්ථිකය මෙහෙයවීම හරහා තිරසාර හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ මගකට යොමුවන බව පැහැදිලිය.

නව අයවැය ලේඛනය හරහා ජනතාවගේ අභිලාෂවලට අවධානය යොමු කරන විට, පැවැති දැඩි ආර්ථික අර්බුදය හමුවේ පීඩනයට ලක් වූ ජනතාවට යම් සහනයක් මෙවර අපේක්ෂා කරයි. විශේෂයෙන්ම ආර්ථික සංකෝචනය හේතුවෙන් රැකියා අවස්ථා විශාල ලෙස අහිමි වූ තරුණ කොටස් වෙත, රැකියා අවස්ථා පුළුල් කිරීම සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය සජීවී කිරීම සඳහා වූ ආර්ථික ප්‍රතිසංස්කරණ මෙවර අයවැය හරහා ඉදිරිපත් වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. එසේම වසර ගණනාවක් තිස්සේ යටිතල පහසුකම් සංවර්ධනය සීමිතව පවතින බැවින්, මහාමාර්ග, ජල සැපයුම, හා අනෙක් මූලික යටිතල පහසුකම් වැඩසටහන් සඳහා වන නව යෝජනා මෙවර අයවැය තුළ අන්තර්ගත වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරති.

තවත් වැදගත් කරුණක් වන්නේ රාජ්‍ය සේවය වැඩි කාර්යක්ෂමතාවක් සඳහා වන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවය. එබැවින්, මෙවර අයවැය ලේඛනය ජනතාවගේ දෛනික ජීවිතය හා රටේ ආර්ථික ප්‍රගතිය සමබරව ගෙන යාමට අදාළ යථාර්ථවාදී ක්‍රියාමාර්ග ඇතුළත් කරනු ඇති බවට බොහෝ පිරිස් විශ්වාස කරති. අයවැය ලේඛනය හරහා රජය සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා සහ අභිලාෂ යම් පමණක් ඉටු කිරීමට යොමුවිය හැකිය. විශේෂයෙන් 2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත මැතිවරණ සැලැස්ම අනුව, ජනතාවට සහනදායක යෝජනා ඉදිරිපත් විය හැකි බව අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය කාර්යක්ෂම ලෙස ගොඩනැගීමට අවශ්‍ය නම්, හඳුනාගත් ගැටලු‍ සඳහා නිසි විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව සංවර්ධනය මාවතට ගමන් කිරීමට විදේශ ආයෝජන සහ පෞද්ගලික අංශයේ ආයෝජන අත්‍යවශ්‍ය වන අතර, වත්මන් රජය මෙම අවශ්‍යතාව පිළිගනී. එමගින්, පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට තම ප්‍රාග්ධන නිවැරැදිව යොමු කිරීම සඳහා යෝග්‍ය පරිසරයක් රට තුළ ඇතිකර දීමත් අත්‍යවශ්‍ය වේ. එහෙත් ශ්‍රී ලංකාවේ තවමත් ආයෝජකයන්ට ශුභදායී පරිසරයක් නොමැති බව ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසයයි.

එසේම අවධානයට ලක්වන තවත් වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ අයෝජකයන්ට පමණක් නොව, සාමාන්‍ය ජනතාවට ද අහිතකර ලෙස බලපා ඇති අකාර්යක්ෂම සහ අනුකූල නොවන රාජ්‍ය යාන්ත්‍රණයයි. එමගින් ආයෝජකයන්ට සහ ආයෝජන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට දිගුකාලීන සහ සංකීර්ණ ක්‍රියා පටිපාටියක් පවතින බව පෙනී යයි. මෙම තත්වය නිසා ආයෝජන මෙහෙයුම් පිරිවැය ඉහළ යාමට හේතු වී ඇත. එබැවින්, රාජ්‍ය සේවා නවීකරණය කිරීම අත්‍යවශ්‍ය වන අතර, මෙවර අයවැය හරහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම වැදගත් වේ. විශේෂයෙන්, අනවශ්‍ය ලේඛන අවම කිරීම, ක්‍රියා පටිපාටිය කාර්යක්ෂම කිරීම, සහ ඩිජිටල් වේදිකා හරහා සේවා ක්‍රියාකාරකම් පාලනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එසේම පැහැදිලි කාල රාමුවකින් ඉදිරිපත් කිරීම් සිදුකිරීමේ අවශ්‍යතාව ද පවතී. වත්මන් රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇති අතර, ඒ සඳහා අරමුදල් මෙවර අයවැය තුළ වෙන් කිරීම සිදුවිය හැකි බව අපේක්ෂා කරයි. මෙම ප්‍රතිපත්තිය ආයෝජකයන්ට විශ්වාසදායක පරිසරයක් සපයා, පෞද්ගලික සහ විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සඳහා තීරණාත්මකව බලපානු ඇත.

රාජ්‍ය සේවය තුළ පවතින දූෂණ සහ වංචා අවම කිරීමට සහ ඒවා තවදුරටත් ක්‍රියාත්මක වීම වැළැක්වීමට, රජය ඵලදායී ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක කර ඇති අතර, එය ඉතාම ධනාත්මක තත්වයක් ලෙස සැලකිය හැකිය. දූෂණ සහ වංචා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට පමණක් නොව, විදේශ ආයෝජකයන්ට ද නරක බලපෑම් ඇති කර ඇත. එම තත්වය තවදුරටත් පවත්වාගෙන යෑම කිසිසේත් අපේක්ෂා කළ නොහැකි බැවින්, රජය දූෂණ සහ වංචා අවම කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග තවදුරටත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යය. මෙම අවශ්‍යතාව සපුරා ගැනීමට යෝජනා සහ පියවර යොමු කිරීම ජනතා විශ්වාසය රැකගැනීමට හා ආයෝජන පරිසරය ශක්තිමත් කිරීමට මූලික වගකීමක් වන බව ද දැක්විය හැකිය. මීට අමතරව, ඉඩම් සහ ශ්‍රම වෙළෙඳපොළේ පවතින ගැටලු‍ අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ අවශ්‍යතාව ද පෙනේ.

එසේම ව්‍යාපාරික මුහුණුවරකින් ක්‍රියාත්මක කළ හැකි රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශ සමග එක්ව නිසි පරිදි පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, අනාගතයේ දී එවැනි රාජ්‍ය ව්‍යවසාය නිසි කළමනාකරණයකින් තොරව ආරම්භ නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ද අත්‍යවශ්‍ය වේ. ජනාධිපතිවරයා මෙම තත්වය රාජ්‍ය නිලධාරීන්ට පසුගියදා ප්‍රකාශ කර ඇති අතර, එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය සහ පෞද්ගලික අංශ සමග ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද යළි අවධාරණය කර ඇත. විශේෂයෙන්ම, 2028 වර්ෂයේ සිට නැවත ණය ගෙවීමට රටට සිදුවන තත්වය යටතේ, ශක්තිමත් ආර්ථික පදනමක් මත මෙවර අයවැයෙන් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුවහොත්, අප පෙර මුහුණ දුන් ගැඹුරු ආර්ථික අර්බුදයක් නැවත ඇතිවිය හැකි අවදානම පවතින බව අවධාරණය කළ හැකිය.

***