රෙදිපිළි වෙළෙඳසල්හි ඇඳුම් ඇඟලා බලන කාමර තුළ සවිකරන ලද සීසීටීවී ආරක්ෂක කැමරාවලින් කාන්තාවන්ගේ අඟපසඟ බැලීයැයි කියන සිද්ධි කිහිපයක් සමාජයේ වැඩි කතාබහකට ලක්වූයේ ගිය වසරේය. පහත් මානසිකත්වයෙන් යුතු කිහිපදෙනකුගේ බාල ක්‍රියා නිසා සීසීටීවී කැමරා ගැන වැරදි මතයක් සමාජයේ පැතිර ගියත් එහි ප්රමුඛ අරමුණ යටපත් කිරීමට නොහැකි වූයේ ඒ ආශ්රයෙන් අපරාධ ගණනාවක සුළමුල සොයාගැනීමට පොලීසිය සමත් වූ නිසාය.
සීසීටීවී කැමරා සවි කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ අපරාධ මැඩපැවැත්වීමයි. මුරකරුවකුගේ සේවයට එහා ගිය විශේෂ කර්තව්‍යයක් සීසීටීවී කැමරාවෙන් සිදු වෙයි. වර්තමානයේ එය ආයතනයකට නැතිවම බැරි අංගයක් වී හමාරය. මුලදී සුපිරි වෙළෙඳසල් තුළ සවිකළ සීසීටීවී කැමරා දැන් සාමාන්‍ය කඩසාප්පු වල පමණක් නොව නිවෙස්වල ද සවි කිරීම ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ සීසීටීවී කැමරා ජනප්‍රිය වූයේ මෑතකදී වුවත් සීසීටීවී ඉතිහාසය 1942 දක්වා දිව යයි.
සීසීටීවී කැමරා මුලින්ම භාවිත කළ බවට වාර්තා වන්නේ ජර්මනියේය. ඒ 1942 වසරේ දී ය. ඉන් පසු ”වී දෙක” රොකට් දියත් කිරීම නිරීක්ෂණය කිරීම සහාත් එය භාවිත කළ අතර ජර්මන් ජාතික ඉංජිනේරු පෝල්ටර් බුච් විසින් තාක්ෂණික නිර්මාණ පද්ධතිය මෙහෙයවනු ලැබීය.
ඇමෙරිකාවේදී පළමු ව්‍යාපාරික සමීප දසුන් රූපවාහිනී පද්ධතිය ආරම්භ වූයේ 1949 වසරේදීය. එම අවධියේ පද්ධතිය සවි කිරීමෙන් පසු නිතරම එය නිරීක්ෂණය කළ යුතු වූ අතර එහි දසුන් පටිගත කිරීමක් හෝ ගබඩා වීමක් සිදු නොවිණි. දසුන් පටිගත කිරීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ පසු කාලීනවය.
මුල් කාලයේ දළ සේයාපට දත්ත ගබඩා කිරීමට යොදා ගනු ලැබූ අතර එම චුම්භක පට හා සේයාපට අතින් ක්‍රියා කර වීමට සිදු වූ නිසා කාලය මිංඩගු විය.
වියදම ද සැර විය. එවැනි ගැටලූ නිසා සීසීටීවී කැමරා භාවිතය අවම මට්ටමක පැවැතිණි.
1970 දී වීසීආර් තාක්ෂණය (Variable Compression Ratio) හඳුන්වාදීමත් සමග සීසීටීවී කැමරා ව්‍යාප්ත වන්නට පටන්ගත්තේ පටිගත කිරීමේ හැකියාව හා අනවශ්‍ය දත්ත මකා දැමීමේ පහසුව ලැබීම නිසාය.
ආරක්ෂාව ගැන සොයාබැලීම සහ අපරාධ අවම කිරීම සීසීටීවී කැමරා සවි කිරීමේ ප්‍රධාන අරමුණ විය.
අපරාධයක් ගැන දැනගැනීමට ඇසින් දුටු සාක්ෂි හැර මෙතෙක් ඉදිරිපත් වූ ප්රබලතම සාක්ෂිය වූයේ ඡායාරූපයයි. සීසීටීවී කැමරාවේ ආගමනයත් සමග ඡායාරූප යනු යල් පැන ගිය අංගයක් බවට පත්ව ඇති අතර යම්කිසි ස්ථානයක සවි කළ කුඩා කැමරාවකින් එම ස්ථානයේ සිදුවන දෑ වෙනත් ස්ථානයක සිට සජීවීව නැරඹීමේ හා පටිගත කිරීමේ හැකියාව ඇත.
ශ්‍රී ලංකාවේ මෙම කැමරා පද්ධතිය ප්‍රචලිත වන්නට පටන් ගත්තේ මීට වසර කිහිපයකට පෙරය.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් වාහන ලීසිං හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලයේ සුළමුල හෙළි කර ගැනීමට ඉවහල් වූයේ සීසීටීවී කැමරා දර්ශනයි.
|
|
ගම්පහ ලීසිං සමාගම කොල්ලකෑ සැකකරුවන් කැමරාවේ සටහන් වූ අයුරු |
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන සිද්ධියේ සුළමුල හෙළි වූයේ ද සීසීටීවී කැමරා දර්ශන අනුව බව පොලීසිය කියයි. විනිසුරුවරියකගේ වාහනයක ස්ටිකර ගැලවූ පාසල් සිසුන් තිදෙනකු කොටු වූයේ ද ඒ අසළ කඩයක සවි කර තිබූ සීසීටීවී කැමරාවේ සටහන් වූ දර්ශන අනුවය.
සීසීටීවී දර්ශන අනුව මෑත කාලයේ මේ ආකාරයේ අපරාධ ගණනාවක සුළමුල හෙළි කර ගැනීමට පොලීසිය සමත් විය. ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල ද සීසීටීවී කැමරා ආශ්රයෙන් අපරාධකරුවන් කොටු කර ගත් අවස්ථා ගණනාවක් ගැන පසුගිය කාලයේ වාර්තා විය. ඇමෙරිකාව කැලඹූ බොස්ටන් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන දෙදෙනා හඳුනාගැනීමට බොහෝ සෙයින් දායක වූයේ සමීප රූප කැමරාවක සටහන් වූ දර්ශන කිහිපයකි.
මෙට්‍රොපොලිටන් පොලීසිය වරෙක කියා තිබුණේ දිනකට අපරාධ හයක් විසඳීම සඳහා සීසීටීවී දර්ශන උපයෝගී කරගන්නා බවයි. වසරක කාලයකදී සිදුවූ මිනීමැරුම් 90කින් 65ක් විසඳීමට සීසීටීවී කැමරා උපයෝගී වූ බව ස්කොට්ලන්ඞ් යාඞ් පොලීසිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. බි්රතාන්යයේ සෑම පොදු ස්ථානයකම වාගේ සීසීටීවී සවි කර ඇති බවත්, දිනකට එක් පුද්ගලයකු කැමරා රැසක අවස්ථා ගණනාවකදී දර්ශනය වන බවත්, යම්කිසි අපරාධයක් සිදුවුණි නම් එය සොයාගැනීමට පහසු බවත් එම වාර්තාවේ සඳහන් විය.
සීසීටීවී කැමරාවෙන් අපරාධ අවම වන ආකාර කිහිපයකි. ආයතනයක සීසීටීවී කැමරා ඇතැයි යන බියෙන් අපරාධකරුවන් එම අපරාධ සිදු කිරීමෙන් වැළකීම ඉන් එක් ආකාරයකි. සීසීටීවී කැමරා තුළින් අපරාධකරුවන් පහසුවෙන් හඳුනාගැනීම තුළින් අත්අඩංගුවට ගැනීම පහසු වන අතර එය නීතීමය කටයුතු වලට පහසුවක් වෙයි. ව්‍යාපාරික ස්ථාන, පොදු ස්ථානවල සීසීටීවී කැමරා පද්ධතියක් සවි කර ඇතැයි දැනගැනීම මගින් තමන් ආරක්ෂිත පරිසරයක සිටිතියි මහජනයා තුළ හැඟීමක් ඇති වෙයි. එමෙන්ම ආයතන අභ්‍යන්තරයේ සිදුවන විවිධ අයථා ක්‍රියා ද සීසීටීවී කැමරා පද්ධතිය නිසා අවම වන බව පසුගිය දිනක වාර්තා වූ සිද්ධියකින් පැහැදිලි වෙයි.
එය පෞද්ගලික ආයතනයකි. සීසීටීවී කැමරා පද්ධතියක් සවි කර ඇතැයි සේවකයන් දැන සිටියේ නැත. ආයතනයේ ඇති සුදු කඩදාසි නිවෙස් වෙත ගෙන යෑමට සේවකයෝ පුරුදුව සිටියහ. දිනක් සේවිකාවකගේ මුදුව ආයතනයේ වැටී ඇතත් එය නැවත හමු නොවූයෙන් පරිපාලනයට පැමිණිලි කළාය.
ආයතනයේ ඉහළ නිලධාරියකු ඇගේ මිතුරු සේවිකාවක කාර්යාලයට ගෙන්වා ‘කරුණාකර ඔයා ඇහිඳපු මුද්ද දෙන්න’ යැයි කීවේය. ‘මම මුද්දක් දැක්කෙත් නෑ. ගත්තෙත් නෑ.’ ඇය කීවාය. කළබල නොවූ ඉහළ නිලධාරියා ඇයට වාඩි වීමට අසුනක් දී පරිගණක යන්ත්‍රයෙන් වීඩියෝවක් පෙන්වන්නට විය. එම සේවිකාව අන්දමන්ද වූයේ බිම වැටී තිබූ මුදුව අහුලා බෑගයට දමා ගන්නා අයුරු එහි සටහන්ව තිබෙනු දැකීමෙනි. ඇයට කටඋත්තර නැති විය. සෙසු සේවකයන් ද සුදු කොළ නිවෙස් වෙත ගෙන යෑම නැවැත්වූයේ ඉන් අනතුරුවය‘.
සීසීටීවී කැමරාවේ ප්‍රයෝජන කියන්නට මෙය එක් උදාරණයක් පමණි. එවැනි උදාහරණ රාශියක් සමාජයේ ඇත.
ශ්‍රී ලංකා පොලීසිය සීසීටීවී ආරක්ෂක කැමරා භාවිතය ආරම්භ කළේ 2010 දෙසැම්බර් 29 වැනිදාය. ඒ කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන 27ක සීසීටීවී ආරක්ෂක කැමරා 105ක් සවි කරමිනි. පොලිස් දෙපාර්තමේන්තුවේ මධ්‍යම සුබසාධක ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටුවනු ලැබ ඇති මෙහෙයුම් මැදිරියේ පුළුල් තිර මත කැමරා දර්ශන සටහන් වන අතර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ද ප්‍රධානත්වයෙන් පොලිස් සීසීටීවී කොට්ඨාසය යනුවෙන් වෙනම කොට්ඨාසයක් ද පිහිටුවනු ලැබ ඇත.
රථවාහන පාලනය, අපරාධ නිරීක්ෂණය, නීතිවිරෝධී කටයුතු නිරීක්ෂණය, අපරාධකරුවන් හඹා යෑම මෙන්ම ප්‍රභූ ආරක්ෂක කටයුතු සඳහා ද සීසීටීවී කැමරා පද්ධතියෙන් සුවිශේෂී සහයක් ලැබෙන බව පොලීසිය කියයි.
පසුගිය දෙවසර තුළ පොලිස් සීසීටීවී කොට්ඨාසය මගින් සිදු කළ රාජකාරිය පහත පරිදි වේ.
බල අපරාධ විසඳීමට සහාය වීම - 05
අපරාධ විමර්ශනයට තාක්ෂණික සහාය ලබා දීම - 44
රිය අනතුරු විමර්ශනය සඳහා තාක්ෂණික සහාය
ලබා දීම - 20
පොලිස් හදිසි ඇමතුම් අංශය සමග සම්බන්ධ වී
ලබාගන්නා ලද රථවාහන වැරදි සම්බන්ධ නඩු 11267
දුෂණ මර්දන නඩු 01
සැකකටයුතු පුද්ගලයන් සෝදිසි කරවීම - 292
අවශ්‍ය සැකකරුවන් හඳුනාගැනීමට සහාය වීම - 15
නැති වූ මහජන දේපල සොයා දීම - 02
ප්‍රභූ ආරක්ෂක රාජකාරි නිරීක්ෂණය කිරීම - 6914
ලංකාවේ බොහෝ ආයතන තුළ සීසීටීවී කැමරා සවි කර තිබුණත් ආයතනයෙන් පිටත සවි කර නැත. උදාහරණයක් ලෙස කොල්ලකෑමට ලක් වූ ගම්පහ ලීසිං ආයතනයේ එළියේ සීසීටීවී කැමරාවක් සවි කර තිබුණේ නම් කොල්ලය සඳහා පැමිණ ආයතනයෙන් පිටතට වී කොපමණ පිරිසක් සිටියේ ද සහ ඔවුන් පැමිණියේ කුමණ වාහනයකින් ද, පැමිණි වාහනයේ අංකය කුමක්ද, ඔවුන් පළා ගියේ කුමන පැත්තකට ද යන ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු සපයා ගැනීමට හැකියාව තිබිණි.
අල්ලස් ගැන වැඩි කතාබහට ලක් වන මේ කාලයේ රාජ්‍ය ආයතන තුළ හා පොදු ස්ථානයන්හි සීසීටීවී කැමරා සවි කර තිබේ නම් එම වැරදි ද අවම වනු ඇත. ඇතැම් රාජ්‍ය ආයතන තුළ සිදු වන බව කියන බොහෝ අයථා ක්‍රියා අවම කර ගැනීමට ද, මහජනතාවට හොඳ සේවාවක් ලබා දීමට ද සීසීටීවී උපකාරී වනු ඇත.
එලෙස බැලූ කල සීසීටීවී යනු අපරාධකරුවන් එල්ලූම් ගහට යැවීමට සිටින හොඳම සාක්කිකරුවකු වන්නේය.
තරිඳු ජයවර්ධන/තුෂාර සිල්වා

