අනියම් පෙම්පළහිලව්වකින් සිදුවුණ මහා විනාශය


”රටේ ජනතාව සාරධර්ම වලින් ඈත් වෙනවානම් රටට කොයිතරම් සාමය උදාකළත්, කොයිතරම් සංවර්ධනයක් කළත් ඒවායින් ඵලක් නොවන බව”ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළේය. රටේ නායකයාට මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට තරම් සිත් වන්නට ඇත්තේ අද රටේ සිදුවන නොයෙකුත් අපරාධ පිළිබඳව ඇසීමෙන් විය හැකිය. රටේ ජනාධිපතිවරයාට මෙවැනි ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධ බෞද්ධ උත්සවයකදී කිරීමට තරම් ප‍්‍රබල අපරාධ රැල්ලක් දිනපතා රට තුළින් වාර්තා වෙමින් පවතී. සෑම වේලාවකම බණ අසන රටක, බණ කියන රටක මෙවැනි අපරාධ සිදුවිය හැකිද? ප‍්‍රශ්නය එයයි. නමුත් ඊට තවම පිළිතුරක් නොලැබෙනවා සේම දිනපතා එම අපරාධ රැල්ල දිගින් දිගටම වර්ධනය වෙමින් පවතී. වාර්තා වෙන ඇතැම් අපරාධ දිහා බැලූ විට එවැනි දේවල් මෙවැනි බෞද්ධ රටක සිදුවිය හැකිද යන බරපතළ ගැටලූව ජනතාවගේ සිත්සතන් තුළ මතුවී පවතී. වාර්තා වන ඇතැම් අපරාධ අහස පොළොව නුහුලන බරපතළ ගණයේ අපරාධයි. එවැනි බරපතළ අපරාධයක් පසුගිය සතියේදී කුරුණෑගලින්ද වාර්තා විය. මෙම අපරාධයේ විශේෂත්වය වූයේ මේ බරපතළ අපරාධය කාන්තාවක් අතින් සිදුවීමය. කවුරුත් විශ්මයට පත්කළ සිදුවීම වූයේ අපරාධයට වඩා එම දරුණු අපරාධය වයස අවුරුදු 36ක් වූ සුරූපී තරුණ කාන්තාවක් විසින් කිරීමය. මේ සුරූපී කාන්තාව එක්දරු මවකි. ඇය තම සැමියාගේ හොඳම මිතුරකුගේ බිරිය ඝාතනය කර තිබුණේ එම කාන්තාවගේ සිරුරේ තිස්පොළකට පමණ උල් පිහියකින් ඇනීමෙන්ය. මියගිය කතගේ දරුවන් දෙදෙනා ඉදිරිපිටදී ඔවුන්ගේ දයාබර මව මරාදැමීමට තරම් මේ කාන්තාව සැහැසි වී තිබුණි. එම කාන්තාවගේ මුළු ශරීරයම පිහිපහර වලින් සිදුරු කර දැමීමට තරම් සැකකාර කාන්තාව තිරිසන් වී තිබුණි. දිනපතා ආගම ධර්මයට සවන් දෙමින් පවක් කිරීමට බියක් දක්වන බෞද්ධයන් වෙසෙන රටක සියුමැලි කාන්තාවකට මෙවැනි කුරිරු අපරාධයක් කළ හැකිද? මේ වන විට කරගෙන යන පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ අනියම් පෙම් සබඳතාවක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බවය. සැකකාර කාන්තාවගේ සැමියා පෞද්ගලික සමාගමක උසස් නිලධාරියකු වන අතර ඔහු වසර කීපයක් විදේශගතව සිටියදී ඔහුගේ බිරිය තම මහගෙදර කොටසක නවාතැන්ගෙන සිටි සැමියාගේ මිතුරෙකු වූ මියගිය කාන්තාවගේ විවාහක සැමියා සමග අනියම් සබඳතාවක් ගොඩනගාගෙන ඇත. මේ බව දැනගැනීමෙන් පසුව මියගිය කාන්තාව හා සැකකාරිය අතර අවස්ථා ගණනකදීම ආරාවුල් හටගෙන තිබී ඇත. මේ ආරවුල නිම කිරීමේ අරමුණින් කතාබහක යෙදීම සඳහා තම නිවෙසට පැමිණෙන ලෙස සැකකාරිගේ සැමියා විසින් කරන ලද ආරාධනයකට අනුව පැමිණ සිටියදී මේ අවාසනාවන්ත සිදුවීම වී ඇති බව පොලීසිය කියයි. සැකකාරිය ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වූයේ ඉතා දරුණු ලෙස  කර තිබූ කැපුම් තුවාල රැසක් හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් එම කාන්තාව මරණයට පත්ව තිබූ බවය.මේ අවාසනාවන්ත සිදුවීමෙන් එක් සැමියෙකුට තම බිරිඳ අහිමිවූවාසේම දරුවන් දෙදෙනකුට තම ආදරණීය මව අහිමි විය. අනෙක් සැමියාගේ බිරිඳ බරපතල මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිරගතවී සිටී. ඔවුන්ගේ එකම දරුවාට අද මව් සෙනෙහස අහිමිවී ඇත. මුළු රටපුරාම කම්පනයකට පත්වූ මේ සිදුවීමෙන් අද මේ පවුල් දෙකටම අත්ව තිබෙන්නේ සමාජයට මුහුණ දිය නොහැකි බරපතළ සමාජ අපවාදයකි. ඔවුන්ගේ දු දරුවන්ගේ ජීවිත වලටද මෙය අනාගතයේදී බරපතළ කැලලක් වනු නියතය. දෙදෙනකු විසින් සමාජ සම්මතයට එරෙහිව කරන ලද හැසිරීමකින් අද පවුල් දෙකක්ම අසරණ වී ඇත. ඔවුන් එසේ අනියම් සබඳතා නොපවත්වා යහපත් පවුල් ජීවිත ගෙනගියා නම් මෙවැනි විපතක් කිසිදිනෙක සිදුනොවනු ඇත. අනියම් සබඳතා පවත්වන්නවුන්ට මේ සිදුවීම හොඳ පණිවුඩයක් ගෙනදීමට සමත්වනු ඇත. අනියම් සබඳතාවක අවසානය මෙවැනි විනාශයක් විය හැකි බව ඔවුන් වටහාගත යුතුය. වර්තමාන සමාජය අනියම් සබඳතාවලින් බෙහෙවින් පිරී ගොස් පවතී. සාමාන්‍ය පුරවැසියාගේ සිට ඉහළ ධනපතියා සහ රට හදන තැන සිටින දේශපාලනඥයා දක්වාම මේ අනියම් සබඳතාවයේ කතා පැතිර ගොස් පවතී. ඉහළ සමාජයට සහ අප රටේ ප‍්‍රසිද්ධ චරිත වලට මෙවැනි අනියම් සබඳතා සාමාන්‍ය දෙයක් වුවද පහළ සමාජයට මෙය ඔරොත්තු නොදෙන්නකි. රටේ ප‍්‍රසිද්ධ චරිත රටේ  ඕපාදුප වලට කැමැති ජනතාවට අනියම් සබඳතා මගින් කුණු රසයක් මැවුවද පහළ සමාජයට මෙයින් අත්වන්නේ බරපතළ හානියකි. මේ රටේ ප‍්‍රසිද්ධ ගායක යුවළකගේ අනියම් සබඳතා පසුගිය දිනවල රටේ ජනතාවට පුවත් මැවූ හැටි මතකය. අප එසේ සිතුවද ඔවුන්ගේ දරුවන්ට මවුපිය උණුසුම අහිමිවීම කෙසේ බලපානු ඇද්දයි සිතන්නේ කීයෙන් කීදෙනාද? අද රටේ අනියම් සබඳතා ඉහවහා ගොසින්ය. එසේ නොකළොත් එය තමන්ගේ තරමට මදිකමක් යැයි සිතන අපූරු පුද්ගලයෝද මේ සමාජයේ සිටිති. ඔවුන්ට එය ආශ්වාදජනක කලාවක් වැනිය. නමුත් එයින් සිදුවන විපත පිළිබඳව නොසිතා ඔවුහු කාලකන්නි සතුටක් විඳිති. රජයේ සහ පෞද්ගලික ආයතන මෙවැනි අනියම් සබඳතා වලට අපූරු තෝතැන්නකි. බොහෝ වෙලාවට සෙනසුරාදා හෝ සතියේ නිවාඩු දිනවල ඔවුන් අතිකාලවල යෙදීමට කියා යන්නේ කාර්යාලයේ සිට අනියම් පෙමෙහි රසවිඳීමටය. මෙවැනි අනියම් පෙමක් විඳීමට ගිය ජෝඩු දෙකකට විඳින්නට සිදුවූ අපූරු සිදුවීමක් පසුගියදා කුරුණෑගලින් වාර්තා විය. එය මෙසේය. මොවුන් දෙදෙනාම රජයේ සේවකයෝය. දෙදෙනාම බොහෝ විට සතියේ නිවාඩු දිනවලට අතිකාල සඳහා යැයි කියමින් නිවෙසින් පිටත්ව කාර්යාලවලට යති. එදිනද එසේ ගිය සැමියා තම අනියම් පෙම්වතියද සමග අනියම් පෙම් සුව විඳීමේ අරමුණින් නගරයේ හෝටලයකට ගියේය. අවාසනාවක මහත. එම හෝටලයට එම වෙලාවේම තම විවාහක බිරියද තවත් පුරුෂයකු සමග ගොඩවැදුනේ මේ අනියම් සබඳතා දෙදෙනාටම හෙළිකරමිනි. මෙම අහඹු සිදුවීමෙන් කෝපයට පත් අඹුසැමි යුවළ ආව කාරිය පසෙක තබා ඇතිකරගත් ගෝරිය බේරීමට සිදුවූයේ හෝටලයේ සේවකයන්ටය. මේ තවත් ප‍්‍රකට සිදුවීමකි. ඇය කුරුණෑගල නගරයේ ප‍්‍රසිද්ධ පාසලක ජනප‍්‍රිය ගුරුවරියකි. ඇය එම පාසලේම සේවය කරන ගුරුවරයකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියාය. ඇය ඔහු සමග හෝටලයකට ගොස් අනියම් සුව විඳිමින් සිටියදී අනියම් සැමියා ඔහුගේ ජංගම දුරකථනයට ඇගේ නිරුවත කැමරාගත කොට ඇත. පසුව එම නිරුවත් පින්තූර සමාජයේ ප‍්‍රසිද්ධ වූ අතර අවසානයේදී එම ගුරුවරියට සිදුවූයේ පාසලින්ද ඉවත්වී යාමටය. එවැනි තවත් ගුරුවරියක අනියම් සැමියා සමග හෝටලයකට වී පෙම්සුව විඳිමින් සිටියදී විවාහක සැමියාගේ අතටම හසුවීමෙන් පසුව දෙදෙනාටම ගුටිබැටදී පොලීසියට බාරදෙනු ලැබීය. අවසානයේදී ඇයට පවුල් ජීවිතය අහිමිවූවා පමණක් නොව දුෂ්කර පාසලකට මාරුවක් ලැබ යාමටද සිදුවිය. මෙවැනි සිදුවීම් බොහෝය. එසේම මෙවැනි සබඳතා හරහා සිදුවූ අපරාධද බහුලය. ගොකරැල්ල පදිංචි 40 හැවිරිදි දෙදරු මවක් සිය වයෝවෘද්ධ ආබාධිතව සිටින මව අනියම් සැමියා හා එක්ව මරා දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. සාමාන්‍ය මරණයක් ලෙස වළදැමුනු ලැබූ වයෝවෘද්ධ මවගේ සිරුර යළි ගොඩ ගැනුනේ එය මිනීමැරුමක් බවට පොලීසියට ලද නිර්ණාමික පණිවුඩයකට අනුවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ හිසට පොල්ලකින් පහරදී මව මරාදමා ඇතිබවය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් දිවයිනේ වැඩිම පිරිසක් ආරක්ෂක හමුදාවන්ට බැඳී සිටින අතර, තවත් විශාල පිරිසක් විදේශ රැකියාවලට ගොස් සිටිති. මොවුන්ගේ පවුල් වලින්ද අනියම් සබඳතා වලට ගොදුරු වීමෙන් බිඳී ගොස් සිටින පවුල් බොහෝය. මේ හේතුව මත අසරණ වී සිටින එම පවුල්වල දරුවෝ විශාල පිරිසක් විවිධ ලිංගික අපයෝජන වලට ගොදුරු වී සිටීමද අවාසනාවන්ත තත්ත්වයකි. මෙවැනි අනියම් සබඳතා සමාජයේ පරිහානියට, විනාශයට මිසක යහපතකට හේතුවී නැති බව මෙයින් හොඳාකාරවම පැහැදිලිය. ජනතාව සාරධර්ම වලින් ඈත්වීම මෙවැනි තත්ත්වයකට හේතුව බව මනාව පැහැදිලිවේ. ”ජනතාව සාරධර්ම වලින් ඈත්වෙනවා නම් රටට යහපතක් කිරීමෙන් ඇති ඵලය කුමක්දැයි කියන ප‍්‍රශ්නය සිතට එනවා.” යනුවෙන් ජනාධිපතිවරයාද කළ ප‍්‍රකාශය මෙම අවාසනාවන්ත තත්ත්වය තවත් අපූරුවට කියාපාන්නකි.
සටහන සහ ඡායාරූප : පුෂ්පකුමාර ජයරත්න
වැඩ බලන මහේස්ත‍්‍රාත් රංජිනී හේරත් මහත්මිය සිද්ධිය වූ ස්ථානය පරීක්‍ෂා කළ අවස්ථාව. ඝාතනය සිදුවූ නාන කාමරය. ඝාතනය වූ කාන්තාව.