01 සියවසේ සිංහල සහ 21 සියවසේ සිංහල


කි:ව: පළමුවන සියවසට අයත් ලෙස සැලකෙන සෙල් ලිපියක් ලංකාවේ දකුණු පළාතේ කිරින්ද අසල දක්නට ලැබේ. මෙය මහජනයාට යම්කිසි පුවතක් සන්නිවේදනය කිරීම සඳහා හෙවත් දැනුම්දීම පිණිස කොටා පිහිටූවකි. ඒ පුවත කියා පා ඇත්තේ කවි දෙකකිනි. කොටා ඇත්තේ එකල භාවිත වූ බ්‍රාහ්මී අක්ෂරවලිනි.

මේ ඒ කවි දෙකෙන් එකකි.
“මෙගලෙහි විහර නක
උවරජෙ නම බුධ සරණ
ගතෙ මිචිය දිටික බිදිය
යහමග පරායන භුතෙ”
එහි පද පිළිවෙළ මෙසේය.

“යහමග පරායන භුතෙ නක නම උවරජෙ මිචිය දිටික බිඳිය මෙගලෙහි විහර බුධ සරණ ගතෙ”
මේ ඒ පදයන්ගේ තේරුමයි.

‘‘යහපත් මාර්ගය පිහිට කොටගත් නාග නම් උපරාජයා මිථ්‍යාදෘෂ්ටිය බිඳ  දමා මේ ගලෙහි ඇති විහාරයේදී බුදුන් සරණ ගියේය.”

මෙවැනි කවිවලින් වැඩි හරියක් ලියා ඇත්තේ බුදු සමය වැළඳ ගැනීමක් විහාරයක්, ලෙනක් හෝ වැවක් පිදීමක් වැනි සිද්ධියක් සන්නිවේදනය කිරීම අරමුණු කොටගෙනය.

මේ උදාහරණයෙන් ප්‍රකට වෙන වැදගත් ඓතිහාසික සාධක දෙකක් ඇත. එකක් ජන සන්නිවේදනයේ ඉතිහාසය කොතරම් ඈතකට දිව යන්නේද යන කරුණයි. අනෙක නම් සිංහල කවි කලාවේ ඓතිහාසික පෞරාණිකත්වයයි.

මෙහිදී විශේෂයෙන් මගේ අවධානයට යොමුවන්නේ ජන සන්නිවේදන කාරිය සඳහා උපයෝගී කොටගෙන ඇති භාෂා භාවිතයයි. ක්‍රි.ව. පළමු වන සියවසට අයත් වන මේ කවියේ භාවිතයට ගෙන ඇති වචන අද පවා සිංහල මිනිසුන්ගේ ව්‍යාවහාරයේ පවත්නා වචන මිස අමුතු වචන නොවේ. ගල, විහාර, රජ, නම, සරණ, යහ මග වැනි වචන මෙකලද අප කතා බහේදී නිතර භාවිත කරන සුපුරුදු වචන නොවේද? මෙකලට වහා නෙවැටහෙන වදන් කීපයක් යෙදී තිබුණද එකී සන්නිවේදන වැකිය එහි අදහස ඉතා පැහැදිලිව නිශ්චිතව කියැවෙන සේ නිරවුල්ව ලියැවී ඇති බව නම් අවිවාදයෙන් පිළිගැනීමට සිදුවෙයි.

අද භාවිත වන සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන ත්‍රිවිධ භාෂාවෙන්ම ලියැවුණු සන්නිවේදන වැකි සහිත එක්තරා දැන්වීම් පුවරුවක් නුගේගොඩ නගරයේ පිහිටි ඇවිදින මං තීරුව අභියස සවිකොට ඇත. එහි සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ලියා ඇති වැකි දෙක මෙසේය. (දෙමළ වැකිය කෙසේදැයි යන්න සොයා දැන ගැනීමට අවස්ථාවක් නොලැබීම ගැන කනගාටු වෙමි.)

“වාහන ඇතුල් කිරීම ශාරීරික යෝග්‍යතාවය සඳහා පැමිණි මහජනයාට පමණි”
“Vehicle entrance is only for the people who are physically fit”

මෙය ඇවිදින මං තීරුවකි. මහජනයා මෙතැනට පැමිණෙන්නේ තම ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සඳහා ඇවිදීම් ව්‍යායාමයේ යෙදීමටය. එහෙත් දැන්වීම් පුවරුවේ සඳහන් අපභ්‍රංශ සිංහලෙන් ඇඟැවෙන්නේ එය වාහන ඇතුළු කිරීම නමැති ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කර බලන ස්ථානයක් බවය. ක්‍රි.ව. පළමුවන සියවසට අයත් සිංහල අද (21) වන සියවසේ ඉන්නා අපට තවමත් නිරවුල්ව තේරුම් ගත හැකිය.  එහෙත් මේ සිංහල? මහරැජිනගේ මහානුභාවසම්පන්න ඉංග්‍රීසි භාෂාවන් ලියැවුණු වැකිය ඊට හපන්ය. ශාරීරික වශයෙන් සෞඛ්‍ය සම්පන්න අයට පමණක් මෙතැනට වාහන ඇතුළු කළ හැකි බවකි ඉන් අඟවා ලනුයේ. ඒ බව සනාථ කරන යෝග්‍යතා සහතිකයක් රැගෙන ආ යුතු වේදැයි නොදනිමි.
 
මෙය ඇවිදින මං තීරුවකි. ඇවිදීම මාහැඟි ව්‍යායාමයකි. ශරීරයේ සෞඛ්‍ය සම්පන්න භාවය රැක ගැනීම සඳහා එය මහෝපකාරී වන බව පිළිගත් සෞඛ්‍ය සාධකයකි. එහෙයින් බොහෝ දෙනා එහි නිරත වෙති. ඒ සඳහා එවැනි මං තීරු වෙත වාහන වලින් පැමිණෙන දනන් උදෙසා වාහන නැවතුම්පළවල්ද පිහිටුවා ඇත. ඒ බව සන්නිවේදනය කිරීම පිණිස දැන්වීම් පුවරුද අවශ්‍ය වෙයි. “ඇවිදීම සඳහා හෝ ව්‍යායාම සඳහා හෝ පැමිණෙන අයගේ වාහන පමණක් ඇතුළු කළ හැකිය” වැනි සරල සිංහල වැකියක් එහි සටහන් කරනු වෙනුවට මේ අපභ්‍රංශ වාක්‍ය ලියන භාෂා භ්‍රෂ්ටයෝ කවරහුද?

(***)

(*** ඡායාරූපය - අතුල රණසිංහ)



Recommended Articles