ඩෙඟා නැටූ රාජ්‍ය ඇමැති ඉල්ලා අස්වීම ප්‍රමාණවත්ද


 

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් එම ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන ඇති බවත් අප පුවත්පත අද වාර්තා කරයි. වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා අතින් සිදුවූ සිද්ධීන්ට අදාළව වගකීම බාර ගනිමින් එම ඉල්ලා අස්වීම සිදුකර ඇත.

ඉල්ලා අස්වීම නිසා ප්‍රශ්නය විසඳුණා යැයි සිතන්නේ නම් මේක අමුතු රටකි. සොරෙකු වුවද සොරකමෙහි වගකීම බාරගත්තේ යැයි කියා නිර්දෝෂී වන්නේ නැත. සොරකමට අදාළ දඬුවමක් හිමිවිය යුතුමය. රාජ්‍ය අමාත්‍යවරයා කර තිබෙන්නේ බරපතළ දඬුවම් ලැබිය යුතු වර්ගයේ වරදකි. කාටත් නීතිය එක සමාන නම් සිදුවිය යුත්තේ එයයි. එම නීති කෘත්‍ය දෙස අපි වගකීමෙන් බලා සිටිමු.

ලොහාන් රත්වත්තේ සිරකරුවන් පුනරුතථාපනය කිරීම සම්බන්ධ වගකීමද හොබවා තිබේ. සිරකරුවන් නොව පළමුව පුනරුත්ථාපනය කළ යුත්තේ අදාළ රාජ්‍ය අමාත්‍යවරයාය. මෙතරම්ම අශිෂ්ට, පිළිකුල්සහගත හැසිරීමක් මෑත කාලයේ දේශපාලනඥයකු වෙතින් වාර්තා වී නැතැයි යන්න බොහෝ සෙයින් සත්‍යයට සමීපය. මෙම රාජ්‍ය අමාත්‍යවරයාට ඉහත ඇමැති ධුරයට අමතරව මැණික් හා මැණික් කර්මාන්ත රාජ්‍ය ඇමැති ධුරයද හිමිය. එම රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බවක් වාර්තා නොවේ. රාජ්‍ය ඇමැතිවරයාට හෘද සාක්ෂියක් ඇති බවක් නොපෙනේ. එහෙයින් හෘද සාක්ෂිය ඇති වුන් එම ඇමැති ධුරයෙන් පන්නා දැමීමට බලපෑම් කළ යුතුය.

අප පුවත්පතේ ඊයේ කතුවැකියට ද පදනම් වූයේ බීමත් රාජ්‍ය ඇමැතිවරයකු මෙබඳු මදාවියන් හා කාන්තාවක සමග වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුව එල්ලුම්ගස බැලීමට උත්සාහ දැරීමේ සිදුවීමය. අද කතුවැකියට පදනම සපයන්නේ ද එම රාජ්‍ය ඇමැතිවරයාමය “මහ මුදලිකම ලජ්ජාවටත් වඩා ලොකු” යැයි කියමනකි. එය සංස්කරණය කළ යුතුව තිබේ. ඒ “රාජ්‍ය ඇමැතිකම ලජ්ජාවටත් වඩා ලොකුයි” යනු වෙනි. වැලිකඩ අපත ක්‍රියාවේ උණුසුම පහව යෑමටත් පෙර මෙම රාජ්‍ය ඇමැතිවරයා අනුරාධපුර බන්ධනාගාරයේදී ද ඩෙඟා නටා තිබේ. මෙහි කියැවෙන රාජ්‍ය ඇමැතිද ලොහාන් රත්වත්තේය.

තදින් බීමත්ව එබඳුම බේබදු මිතුරන් පිරිසක් සමග අනුරාධපුර බන්ධනාගාරයට අයුතු ලෙස ඇතුළු වී ඇති රාජ්‍ය ඇමැතිවරයා එම බන්ධනාගාරයේ රඳවා සිටින එල්ටීටීඊ සැකකරුවන් පස් දෙනකු කූඩුවෙන් එළියට ගෙන ඉන් දෙදෙනකු දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ලකර “උඹලා පාඩුවේ හිටියේ නැත්නම් තොපි මරණවා” යැයි තර්ජනය කර ඇති බවට වාර්තා වන බව අප පුවත්පතෙහි සඳහන්ය.

බන්ධනාගාර ආඥාපනත ප්‍රකාරව කිසියම් හෝ අයකුට බන්ධනාගාරයට අවි ආයුධ, මත්ද්‍රව්‍ය, පිහි ආදිය රැගෙන යා නොහැකිය. එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා සිරකූඩුවේ සිටි සිරකරුවන් එළියට ගෙන හිසට පිස්තෝලය තබා පාරම්බාන විට නීතිය ක්‍රියාත්මක කිරීමට සමත් එකදු බන්ධනාගාර නිලධාරියකු හෝ එතැන සිට නැත. තුට්ටු දෙකේ දේශපාලනඥයන් ඉදිරිපිට වෘත්තීය ගරුත්වය, වගකීම හා අභිමානය කෙළෙසාගත් එම නිලධාරීන් තමන් සම්බන්ධයෙන් ප්‍රමාණය ඉක්මවා යන තරමට ලජ්ජා විය යුතුය.

රාජ්‍ය ඇමැතිවරයා ප්‍රාණ ඇපයට ගෙන කුමන හෝ ක්‍රියාවක නියැලීමට එම සිරකරුවන්ට අවකාශ තිබුණේ නම් හෝ රාජ්‍ය ඇමැතිවරයාගේ පිස්තෝලය උදුරා ගත්තේ නම් ඇතිවිය හැකි භයානක තත්ත්වය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. එම සිදුවීම් රාජ්‍ය ඇමැතිවරයාට හා ඔහුගේ බේබදු මිතුරන්ට පමණක් සීමා නොවීමද ඒකාන්තය.

එක් අතකින් ජිනීවාහි මානව හිමිකම් කොමිසම රැස්වේ. එහි කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය සුපුරුදු පරිදි මෙවරද මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් නෝක්කාඩු කීවාය. හදිසි නීති පනත පාර්ලිමේන්තුවේ සම්මතවීම සම්බන්ධයෙන් මෙන්ම මිල්ටරිකරණය සම්බන්ධයෙන් ද ඇය කතා කර තිබිණි. මානව හිමිකම් උල්ලංඝනය රටක් ලෙස බටහිර රටවල් අප රටට එල්ල කරන අපවාද පහසුවෙන් නතර කර ගැනීමට සූදානම් නොමැති බවක් එමඟින් පෙනේ.

කරුණු කාරණා එපරිදි වන විට රාජ්‍ය ඇමැතිවරයකු බීමත්ව පිස්තෝල ගෙන සිරකරුවන් කූඩුවෙන් එළියට ගෙන දණගස්වා මරා දමන බවට තර්ජනය කරන විට එම සිදුවීම හරහා රට සම්බන්ධයෙන් මැවෙන චිත්‍රය කුමක් ද යන්න හඳුනා ගැනීම අසීරු නොවේ. මේ රට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන, මානව හිමිකම් නොසලකන, අශිෂ්ට වනචාරීන්ගේ අසමත් දේශයක් යැයි කටපුරා කිව හැකි පරිසරයක් රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම සිදුවීම හරහා ගොඩනගාගත හැකිය. මෙම සිදුවීම සරළව නොගත යුත්තේ එහෙයිනි. මෙබඳු පාදඩ වැඩ නිසා මෙරට වැසියන්ට “අප ශ්‍රී ලාංකික” යැයි අභිමානයෙන් කීමට තිබෙන පරිසරය ද අහිමි වී යයි.

නව ජනාධිපතිවරයාත්, නව රජයත් බලයට පත් වූයේ “සෞභාග්‍යයේ ඉදිරි දැක්ම” ජනතාව අතට පත් කරමිනි. ප්‍රාදේශීය සභාවක හෝ දේශපාලන අත්දැකීමක් නොමැති  ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට සාතිශ්‍ය බහුතරයක් ජනයා ජනාධිපති පුටුවට ඔසොවා තැබුවේ සාම්ප්‍රදායික, පරම්පරික, ජරාජීර්ණ හා මුස්පේත්තු දේශපාලනයක් වෙනුවට අලුත් බලගතු ආදර්ශ සමඟින් වූ නව ගමනක් අපේක්ෂාවෙනි. පාදඩ බත් බැලයන් අල්ලා ගස් බඳිනු ඇතැයි යන විශ්‍වාසයෙනි.

ජනතාවගේ එම විශ්වාසය සම්බන්ධයෙන් අවබෝධයක් සහිත බහුතරයක් කැබිනට් මණ්ඩලයේ සිටිති. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්‍ඩායමේ සිටිති. එම බහුතරයේ යට ඇඳුමත් මෙම රාජ්‍ය ඇමැතිවරයා ගලවා ඉවත් කර තිබේ. රාජ්‍ය ඇමැතිවරයකුට මෙසේ නොහොබිනා ලෙස හැසිරිය හැකි නම් රටේ ජනාධිපතිවරයකු නැද්ද, අගමැතිවරයකු නැද්ද? කියා ජනතාව සිතති. උගත් බුද්ධිමත් ජනයා බලවත් පිළිකුලෙන් යුතුව මෙබඳු නොපනත්කම් හෙළා දකිති. එහෙත් මේ මොහොතේ ඒ ජනයාට කිරීමට කිසිවක්ම නැත. එහෙයින් ඔවුහු ඉවසති. ඒ ඡන්දයක් පැමිණෙන තුරුය.

(***)



Recommended Articles