අහේනිය ජය මාවතකට හරවා ගනිමු


 

පිට රටවලින් ආනයනය කරන බඩු භාණ්ඩ සීමා කිරීම නිසා අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති වෙතැයි ඇතැමුන් අතර තිබෙන්නේ බියකි. මේ ඒ පිළිබඳ ජෝන් කීල්ස් සමාගමේ සිල්ලර වෙ​ළඳාම් අංශයේ ප්‍රධානි චරිත සුබසිංහ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

ජෝන් කීල්ස් සිල්ලර වෙළෙඳාමේ දැවැන්ත ජාලයක් සහිත සමාගමකි. දැනට රට පුරා පිහිටි අපේ ශාඛා සංඛ්‍යාව 125 කි. ඉදිරි අවුරුදු පහ ඇතුළතත් අපේ ශාඛා ජාලය පුළුල් කිරීම අපේ අරමුණයි. එසේ කිරීමේ අපේ අරමුණ වන්නේ අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමය. එහිදී පාරිභෝගිකයා පමණක් අපේ ඉලක්කය නොවෙයි.

අපි දැනට මෙරට ගොවීන් 4000 කගෙන් පමණ අතරමැදියන් නැතිව ඍජුව ඔවුන්ගේ ගොවි නිෂ්‍පාදන මිලදී ගන්නෙමු. ඒ ගොවීන් පිරිසගෙන් අවුරුද්දකට මිලදී ගන්නා එළවළු පලතුරු ප්‍රමාණය ටොන් 30,000 ක් පමණ වෙයි.

ඒ ගොවීන් අතට අවුරුද්දකට අපෙන් ලැබෙන මුදල රුපියල් මිලියන 4000 ක් පමණ වෙයි. ඒ අප සඳහන් කළේ අපට එළවළු පලතුරු සපයන ගොවීන් ගැන පමණකි.

වෙනත් ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අවශ්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්‍ඩ සපයන පිරිසද දහස් ගණනකි. ඒ අනුව ඔවුන් අතටද විශාල මුදලක් අපෙන් ගලායයි. එපමණක් නොවේ. අපේ ශාඛාවල සේවය කරන ළමයින් සංඛ්‍යාව 6000 ක් පමණ වෙයි. ඉන් සියයට 99 ක්ම අප ළඟ තම පළමු රැකියාව කරන්නෝය. ඒ සියලු දෙනාට අපෙන් වෘත්තීය පුහුණුවක් ලැබෙයි. කුඩා හා මධ්‍යම පරිමාණයේ සැපයුම්කරුවන් 1500 ක් පමණ පිරිසක්ද අප සමග සම්බන්ධවී සිටිති.

මේ තොරතුරුවලින් අනාවරණය වන්නේ අපේ සමාගම හුදෙක් භාණ්‍ඩ විකුණන හා මිලදී ගන්නා සමාගමක් නොවන බවය.

රටේ විවිධ ක්ෂේත්‍රවල සිටින විවිධ සමාජ මට්ටම් නියෝජනය කරන ලක්ෂ ගණනකගේ ජීවන තත්ත්වය යහපත් කිරීම අපේ අරමුණ වෙයි. මා ඒ තොරතුරු සඳහන් කළේ සිල්ලර හෝ තොග වෙළෙඳාමේ නියුතු ඕනෑම පුද්ගලයකුගෙන් ආයතනයකින් හෝ සමාගමකින් එවැනි පුළුල් මෙහෙවරක් වන බව කීමටය. අපට එය එසේ කියන්නට සිදුවී තිබෙන්නේ සමාජයේ බොහෝ දෙනා එය එලෙස නොදකින බැවිනි.

කීල්ස් වෙතින්ම පමණක් තම නිෂ්‍පාදන සඳහා වෙළෙඳ පොළක් නිර්මාණය කරගෙන සිටින පිරිස දහස් ගණනකි. ගොවීන් පමණක් 4000 කි. සුළු හා මධ්‍ය පරිමාණ සැපයුම්කරුවන් පමණක් 1500 කි. ඒ සියල්ලන් කීල්ස් සමග කටයුතු කරන්නේ අතරමැදියන්ගෙන් තොරව ඍජුවය. එසේ නම් ඒ පිරිසගේ ජීවිතවල කෙබඳු වෙනසක් සිදුවී ඇතිද?

අද ලංකාවේ අප පමණක් නොව ලෝකයේම ජනතාව කටයුතු කරන්නේ අතිභයානක වසංගතයත් සමගය. ඒනිසා පාරිභෝගික චර්යාවේද වෙනස්කම් සිදුවී තිබේ. අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර මිලදී ගැනීම මීට කදිම විසඳුමකි. කොරෝනා වසංගතය නිසා පාරිභෝගික චර්යාව පමණක් නොව පාරිභෝගික රටාවන්ද වෙනස් වී තිබේ. කොරෝනා වසංගතය පවතින අවුරුදු දෙකකට ආසන්න මේ කාලයේ අප ලැබූ අත්දැකීම්වලින් අපට පුරෝකථනය කළ හැක්කේ පාරිභෝගික චර්යාවේ සහ පාරිභෝගික රටාවේ ඇතිවූ වෙනස්කම් තවදුරටත් අඛණ්‍ඩව පවතිනු ඇත යන්නය.

කොරෝනා සහමුලින් තුරන් වුවත් මේ තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් වෙතැයි සිතිය නොහැකිය. මා මේ කියන්නේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ ගැන පමණක් නොව රටපුරා පවතින තත්ත්වය ගැනය. එය මා දකින්නේ කොරෝනා වසගංතය නිසා ඇතිවූ අවස්ථාවක් ලෙසය. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ව්‍යවසායකයන්ගේත් පුරවැසිකාගේත් වගකීමකි. මා මේ කියන්නේ කල දුටු කල වළ ඉහ ගැනීමක් ගැන නොව අර්බුදය අවස්ථාවක් කරගත යුතු අන්දම ගැනය.

දැන් සෑම භාණ්‍ඩයකම මිල වැඩි වී තිබෙන බව සත්‍යයකි. අපේ අතට ලැබෙන මිල දර්ශනවලින් ඒ බව අනාවරණය වෙයි. භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව අමුද්‍රව්‍ය මිල ඉහළ යාමය. අමු ද්‍රව්‍ය මිල ඉහළයාමත් සමග ඒ භාණ්‍ඩ නිෂ්පාදකයන්ට වියදම් පියවා ගැනීම සහ ලාබය ගැන සිතන්නට ඔවුනට සිදුවෙයි. භාණ්ඩ මිල ඉහළ යන්නේ එහෙයිනි. එය භාණ්‍ඩ මිල ඉහළ යාමට බලපා තිබෙන අභ්‍යන්තර සාධකයකි. ඊට ප්‍රබලව බලපා තිබෙන බාහිර සාධකය වන්නේ ඇමෙරිකන් ඩොලරයේ අගය ඉහළ යාමය.

ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට ඍජුව බලපා තිබෙන්නේ ඒ සාධකයයි. අද මුළු රටම මුහුණ දී සිටින්නේ විදේශ විනිමය සංචිත හිඟයකටයි. ඒ නිසා ආහාර ද්‍රව්‍ය රටින් ගෙන්වීමට අවශ්‍ය තරමට ඩොලර් සොයා ගැනීම අද මෙරට ආනයනකරුවන් කවුරුත් මුහුණ දෙන ප්‍රශ්නයකි. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙතැයි බොහෝ දෙනා බියවී සිටිති.

පෞද්ගලිකවම මා විශ්වාස කරන්නේ ලංකාවේ ආහාර අහේනියක් ඇති නොවන බවය. ඊට හේතුව හිඟයක් පැමිණියත් එය රටේ හැම ප්‍රදේශයකටම බලපාන්නේ නැත. ගංවතුරත් එසේමය. වගා කරන ඉඩම් සේම වගා නොකරන ඉඩම් ප්‍රමාණයද විශාලය. මට පෙනෙන හැටියට තිබෙන ඉඩම් හා ජලය පරිහරණය සහ කළමනාකරණය පිළිබඳ බරපතළ ප්‍රශ්න තොගයක් පවතී. ඒ ප්‍රශ්න විසඳා ගතහොත් ආහාර නිෂ්‍පාදනයෙහි විප්ලවයක් කළ හැකිය. එය එසේ වුවද අහේනියක් ඇති නොවෙයි.

එහෙත් එය ක්ෂණිකව කළ නොහැකිය. එයට යම් කාලයක් ගතවෙයි. සංක්‍රාන්ති කාලයේදී අපට වගකීමක් පැවරෙයි. ඒ වගකීම වන්නේ අපේ පරිභෝජන රටාව වෙනස් කිරීමය. ආනයනය කළ දෙයක් පරිභෝජනය කිරීමට පුරුදුව සිටියා නම් ඒ වෙනුවට ආදේශක සොයා ගත යුතුය. විකල්පයකට නොගොස් රටින් ගෙන්වන දෙසම බලා සිටීම ප්‍රායෝගික නොවෙයි. හේතුව රට මුහුණ දී සිටින බරපතළ විදෙස් විනිමය හිඟයයි. රටින් ගෙන්වන යම් භාණ්‍ඩයකට ආදේශකයක් රටෙහි නැතිනම් ඒ භාණ්ඩ පරිහරණය අතහැර දැමීමටද සිදුවිය හැකිය.

මා යළිත් කියන්නේ පැමිණ තිබෙන අර්බුදය අවස්ථාවක් කරගත යුතුබවය. ඒ අනුව මෙය දේශීය ව්‍යවසායකයන්ට සහ නිෂ්පාදකයන්ට ස්වර්ණමය අවස්ථාවකි. ඔවුන් එලෙස සිතුවොත් සහ කටයුතු කළහොත් ලංකාවේ අලුත් නිෂ්පාදන බිහි වෙයි. අලුත් කම්හල් බිහිවෙයි. කොරෝනා නිසා රැකියා නැතිවෙන අයට අලුත් රැකියා බිහිවෙයි. මා ඒ කියන්නේ අර්බුදය අවස්ථාවක් කරගත හැකි ක්‍රම ගැනය.

අද පවතින්නේ අර්බුදයකි. ඒ නිසා රැකියා කළ නොකළ සියල්ලන්ගේ ආදායම් පහත වැටී හමාරය.

ඇතැමුන්ට රැකියා නැතිවී තිබේ. රැකියා නැතිව ආදායම් මාර්ග අහිමිව සිටින අයට දිවි පැවැත්ම සඳහා උදව් කිරීම සමාජයේ වගකීමකි. අප විශේෂයෙන් එසේ කළ යුත්තේ එවැනි පවුල්වල ඉගෙන ගන්නා දරුවන් සිටී නම් අග හිඟකම් නිසා ඔවුන්ගේ අනාගතය අඳුරු විය හැකි බැවිනි. එහිදී මා විශ්වාස කරන්නේ බඩගින්නේ සිටින පුද්ගලයාට මාළුවකු නොදී මාළු අල්ලා ගැනීමට බිලී පිත්තක් දීමේ පිළිවෙතකට යායුතු බවය. එසේ කිරීමේ වගකීම රජයට පමණක් පැවරීම අසාර්ථකය. පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රජාවටද එහිදී මහා මෙහෙවරක් කළ හැකිය. පෞද්ගලික අංශය ඒ සමාජමය වගකීම ඉටු නොකළහොත් ඔවුනට වෙනත් ආකාරයකින් ඊට මුහුණ දීමට සිදුවන බව මගේ විශ්වාසයයි.

කොරෝනා වසංගතයකි. ඉන් අපේ සමාජයේ සෑම අංශයක්ම කඩාවැටී තිබේ. බරපතළම අර්බුදය වී තිබෙන්නේ ආර්ථිකය කඩා වැටීමය. මා මින් ඉහත පුන පුනා කියා සිටියේ මේ අර්බුදය නව ජවයකින් නව පිම්මකින් නැගිටීමට අවස්ථාවක් කර ගත යුතු බවය.

මගේ මේ වචන කෙනකුගේ හාස්‍ය්‍යට ලක්විය හැකිය. මා සිහින ලෝකයක ජීවත් වන පුද්ගලයකු ලෙස අර්ථ දැක්වීමටද ඉඩ තිබේ. ඇත්තෙන්ම මා කියන්නේ ප්‍රයෝගිකව කළ හැකි දේවල්ය.

කොරෝනා වසංගතය සමග දැන් අප මේ ගෙවා දමමින් සිටින්නේ 18 වැනි මාසයයි. මේ කාලයේදී අපේ රටේ ධෛර්යමත් ව්‍යවසායකයන් හා නිෂ්පාදකයන් මේ මාස 18 දී නව නිෂ්‍පාදක 200 කට වැඩි ගණනක් හඳුන්වා දී තිබේ. ඇතැම් බිස්කට් හා චොක්ලට් ආනයනය කිරීම පසුගිය කාලයේ නැවතිණි. එසේම රැවුල බෑමට මුහුණ සේදීමට ඇග ගැල්වීමට භාවිත කරන බොහෝ නිෂ්‍පාදන ආනයනය නැවතිණි. ඒවා දැනටත් ආනයනය නොකරයි. දැන් උදාහරණයකට බිස්කට් ගනිමු. රටින් ගෙන්වූ ඇතැම් බිස්කට් වර්ග වෙනුවට අලුත් බිස්කට් වර්ග දේශීය නිෂ්‍පාදකයන් වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. රැවුල බෑමට මුහුණ සේදීමට ඇඟ ගැල්වීමට යනාදියට ගන්නා අලුත් රූපලාවන්‍ය නිෂ්පාදන රැසක්ද දැන් වෙළෙඳ පොළට පැමිණ තිබේ. මා ඔබට කීවේ උදාහරණ කීපයක් පමණකි.

මේ අර්බුදය වෙලාවේ අප පළමුව කළ යුත්තේ වෙළෙඳපොළේ නැත්තේ මොනවාදැයි සොයා බැලීමය. අනතුරුව ක්‍රියාත්මක විය යුත්තේ ඉන් හැකිතරම් ප්‍රමාණයක් මෙරටදී නිෂ්‍පාදනය කිරීමටය. එය කළ යුත්තේ දිගු කාලීන අරමුණු සහිතවය. උදාහරණයකට යම් පුද්ගලයකු රැවුල බෑමට දිගු කලක් භාවිත කළේ විදේශීය නිෂ්පාදනයක් නම් ඊට සමාන හෝ ඊට ඉහළ නිෂ්පාදනයක් කළ හැකි සමාගම් අපේ රටේ තිබේ. දේශීය සමාගමකින් එවැනි නිෂ්‍පාදනයක් කළහොත් අර පුද්ගලයා යළි කිසි දිනෙක විදෙස් නිෂ්පාදන නොසොයා කොරෝනා කාලයේ තමා හුරු පුරුදු වූ දේශීය නිෂ්පාදනය අඛණ්‍ඩව ඉදිරියටත් පාවිච්චි කිරීමට පෙළඹීමේ සම්භාවිතාව ඉතා ඉහළය. ඒ තවත් එක් උදාහරණයක් පමණකි. දේශීය නිෂ්පාදනයෙන් පාරිභෝගිකයා තෘප්තිමත් කළහැකි නම් ඔහු යළි විදෙස් භාණ්‍ඩ පසුපස යන්නේ නැත.

 දැනටත් තම මනස එසේ වෙනස් කරගත් බොහෝ දෙනා අපට හමුවෙයි. එය එසේ වී තිබෙන්නේ ඒ නිෂ්‍පාදන සමාගම් පාරිභෝගිකයාගේ පැත්තේ සිට ගනිමින් කළ නිෂ්පාදනවල මහිමයෙනි. ඒ නිෂ්පාදන සාර්ථක වූයේ පාරිභෝගිකයා තෘප්තිමත් කළ නිසාය. අර්බුදය අවස්ථාවක් කරගත් නිෂ්‍පාදකයන් නිසා බිහිවූ නව නිෂ්පාදන 200 ක් තරම් සංඛ්‍යාව අතර ආහාර පාන වර්ග සේම රූපලාවන්‍ය නිෂ්පාදන සහ තවත් නොයෙක් වර්ග පවතී.

ආහාර අහේනියකට ඉඩක් නැතැයි මා විශ්වාස කරන තවත් කාරණයක් වන්නේ අපේ ආහාරවලින් සියයට 90 ක්ම දේශීයව සපයා ගන්නා හෙයිනි. කොහොමටත් පවතින ආර්ථීක අර්බුද හේතුවෙන් පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ රටාවෙහි වෙනසක් දැනටත් විද්‍යාමාන වෙයි. වෙනදා අවශ්‍ය එහෙත් අත්‍යවශ්‍ය නොවන දේත් මිලදීගත් පාරිභෝගිකයන් දැන් මිලදී ගන්නේ අත්‍යවශ්‍ය දේ පමණකි. එසේම වෙනදා මිල ඉහළ භාණ්‍ඩ මිලදී ගත් පාරිභෝගිකයන් දැන් මිල තරමක් පහළ භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹී සිටිනු ද අපට නිරීක්ෂණය වෙයි. ඉන් අනාවරණය වන්නේ පවතින ආර්ථික අර්බුදය ඇති නැති සහ ලොකු කුඩා කාටත් යම් යම් මට්ටම්වලින් බලපා තිබෙන බවය. ආනයන ආදේශන ආර්ථිකයකට යාමෙන් මෙම ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාගත හැකි බව මම ඉහත ද කීවෙමි.

ගොවියාට කම්කරුවාට සහ නිෂ්පාදකයාට පමණක් ඒ වුවමනාව තිබීමෙන් පමණක් එතැනට යා නොහැකිය. ගොවියාත් කම්කරුවාත් කම්හල් හිමියාත් ව්‍යවසායකයාත් එතැනට තල්ලු කිරීමේ වගකීම තියෙන්නේ රජයටය. ඒ සඳහා රජය පළමුව ආයෝජකයන් අතර විශ්වාසයක් ගොඩනැගිය යුතුය. ඒ විශ්වාසය ස්ථාවරතාව පදනම් කරගත් විශ්වාසයක් විය යුතුය.

ඒ ඒ කර්මාන්තවල හැටියට ඒවායේ නිමි භාණ්ඩ දැක ගැනීමට ලැබෙන කාලය වෙනස්ය. ඇතැම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට දින කීපයක් ගත වුවත් තවත් භාණ්ඩයක් නිෂ්‍පාදනය කිරීමට මාස ගණනක් ගතවිය හැකිය. නිමි භාණ්‍ඩය දැකීමට කොපමණ කාලයක් ගතවුවත් නිෂ්පාදකයා ඒ සඳහා යම් මුදලක් ආයෝජනය කළ යුතුය. ආයෝජකයන් යමක් නිෂ්පාදනය කිරීමට පෙළඹෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති මතය. අහවල් ආහාරය හෝ භාණ්ඩය ඔබ නිෂ්පාදනය කරන්න. ඔබේ නිෂ්‍පාදනය වෙළෙඳපොළට පිවිසෙන අවස්ථාවේ සිට අපි ඒ භාණ්ඩ මෙරටට ගෙන්වීම තහනම් කරමු. නැතිනම් ඔබේ නිෂ්පාදනයට වඩා ඉහළ මිලක් එයට  නියම වන ආකාරයට අපි ආනයන බදු ඉහළ නංවන්නෙමු. ඒ ප්‍රතිපත්ති අවුරුදු 10 ක් අඛණ්ඩව ක්‍රියාත්මක වන ආකාරයට රටේ නීති සම්පාදනය කරන්නෙමු. යනාදී වශයෙන් ස්ථිර රාජ්‍ය ප්‍රතිපත්තියක් රජයෙන් හඳුන්වාදිය යුතුය. එවැනි ස්ථිර රාජ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා නොදී ආයෝජකයන් පෙළඹවිය නොහැකිය.

ඊට හේතුව ආයෝජකයන්ට පමණක් නොව රටේ ගොවි ජනතාවටද තිබෙන අත්දැකීම්ය. දේශීය අල ගොවියා සහ ලොකු ලූනු ගොවියා චිරාත් කාලයක සිට මුහුණ දෙන ප්‍රශ්න මීට කදිම නිදසුන්ය. අල ලූනු ආනයන බදු පනවන හා ඉවත් කරන කාලය සම්බන්ධයෙන් ගොවීන්ට තිබෙන්නේ නරක අත්දැකීමකි. ආනයන බදු පැනවිය යුත්තේ හෝ ඉහළ නැංවිය යුත්තේ දේශීය නිෂ්පාදන වෙළඳ පොළට පැමිණෙන සමයේදීය. එහෙත් දේශීය නිෂ්‍පාදන වෙළෙඳ පොළට පැමිණෙන සමයේ බදු ඉවත් කළහොත් හෝ බදු අනුපාත අඩු කළහොත් ගොවියාට වැලේ වැල් නැති වෙයි. තමන්ට එවැනි අත්දැකීම් තිබෙන බව අපේ ගොවීන් කියා තිබෙන වාර ගණන අනන්තය. ගොවීන්ට එසේ කියන්නට වෙන්නේ තුළනාත්මක සංසන්දනයකින් තොරව තීන්දු තීරණ ගැනීම හේතුවෙනි. ගොවියාට සේම වෙනත් නිෂ්පාදකයන්ට අත්‍යවශ්‍ය වන්නේ දිගු කාලීන ස්ථාවර රාජ්‍ය ප්‍රතිපත්තියකි.

 නිතර නිතර වෙනස් වන අස්ථාවර රාජ්‍ය ප්‍රතිපත්ති යටතේ ආයෝජනය කිරීමට බොහෝ දෙනා දක්වන්නේ බියකි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



Recommended Articles