ජිනීවා ග්‍රහයා නීචවේද?


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනා අටක් මේ වනවිට සම්මත වී තිබුණද දැන් පෙනෙන විදියට නම් ඒ නිසා මේ රටේ ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ නායකයන්ට හෝ හමුදා ප්‍රධානීන්ට හෝ බරපතළ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවන්නේ නැත.

එනම් 2015 ට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ප්‍රකාශ කළ ආකාරයට රාජපක්ෂ මහතා හෝ හිටපු ආරක්ෂක ලේකම් හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ කොටි සංවිධානයට එරෙහි යුද්ධයට නායකත්වය දුන් හමුදා ප්‍රධානීන් හෝ විදුලි පුටුවට ඇදගෙන යාමේ අනතුරක් ද නැත. ශ්‍රී ලංකාවට එරෙහිව එ.ජා. සංවිධානයේ මූලිකත්වයෙන් ආර්ථික සම්බාධක පැනවීමේ අනතුරක් ද නැත.

එහෙත් පසුගිය මාර්තු මාසයේදී මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව පදනම් කරගෙන ජූනි මාසයේදී යුරෝපා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව මගින් නම් ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික බලපෑමක් ඇති වීමේ අනතුරක් තිබේ. එනම් ශ්‍රී ලංකාවට යුරෝපා වෙළෙඳපොළේදී ලැබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමේ අනතුරක් තිබේ.

මේ කාරණාව හැර පසුගිය 12 වැනිදා අරම්භ වූ එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසි වාරයේ විශේෂ වැදගත්කමක් පෙනෙන්නට ඇත. එම සැසියේදී සිය වාචික වාර්තාව ඉදිරිපත් කළ මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාවේ මූලික අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මත හමුදාකරණය හා වගවීමෙන් තොර ඇති කරනු ලබන අහිතකර බලපෑම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ ආර්ථික හා පරිපාලන අභියෝග මගින් පෙන්නුම් කෙරෙන බව ප්‍රකාශ කළාය.

ආහාර සුරක්ෂිතතාව හා මිල පාලනය ඉලක්ක කරගෙන අගොස්තු 30 වැනිදා පනවනු ලැබූ හදිසි නීතිය සිවිල් කටයුතු මත හමුදාවේ භූමිකාව තවදුරටත් පුළුල් කරනු ඇතැයිද මානව අයිතීන් ආරක්ෂා කරන්නන්, ජනමාධ්‍යවේදීන් හා අතුරුදන් වූවන්ගේ පවුල් සම්බන්ධයෙන් කෙරෙන අධිකරණ කටයුතු තව දුරටත් සිදුවනවා පමණක් නොව ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන ශිෂ්‍යයන්, උගතුන්, වෛද්‍ය වෘත්තිකයන් හා ආගමික නායකයන්ට එරෙහිවද යොදා ගැනෙන බව ඇය පැවසුවාය.

2008 හා 2009 වසරවලදී පුද්ගලයන් 11 දෙනකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳව  හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව නඩුව නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගනු ලැබීම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව දීම, අත්අඩංගුවට පත්වූවන් පොලිස් බාරයේදී ඝාතනය කරනු ලැබීම ආදී වශයෙන් ඇයගේ වාචික වාර්තාවේ අලුත් චෝදනා  ගණනාවක් ඇතුළත් වී තිබේ.

ඊට අමතරව සාක්ෂි නැතිව නීතිඥ හිජාස් හිස්බුස්ලා මාස 16ක් රඳවා ගෙන සිටීම, ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් චෝදනා රහිතව පසුගිය වසරේ මැයි මාසයේ සිට රඳවා ගෙන සිටීම වැනි මීට පෙර මානව හිමිකම් කවුන්සිලයේ හා යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවල සඳහන්වූ කරුණුද ඇගේ වාචික වාර්තාවේ සඳහන් වේ.

 වැදගත් අලුත් තොරතුරක් වශයෙන්  බැචලේගේ වාර්තාවේ සඳහන් වන්නේ මාර්තු මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී  සම්මත වූ යෝජනාවේ වගවීම පිළිබඳ කාරණා ක්‍රියාත්මක කිරීම ඇගේ කාර්යාලය විසින් ආරම්භ කොට ඇතැයි යන්නය.

වගවීම සම්බන්ධයෙන් එම යෝජනාවෙන් කියැවුණේ ශ්‍රී  ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා තොරතුරු හා සාක්ෂි එක්රැස් කිරීම පිණිසත් ඒවා විශ්ලේෂණය කිරීම පිණිසත් මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්ගේ කාර්යාලයේ දත්ත ගබඩාවක් ස්ථාපනය කරන බවය. මේ වනවිට ආරම්භ වී ඇතැයි ඇය පසුගිය 13 වැනිදා පැවසුවේ මෙම දත්ත ගබඩාව ආරම්භ කිරීමේ කටයුතුය.

මෙම දත්ත ගබඩාවේ කටයුතු සඳහා ඩොලර් මිලියන 2.8ක් වැයවනු ඇතැයි මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත. නීතිවේදීන්, මානව හිමිකම් පිළිබඳ නිලධාරීන් ආදී වශයෙන් එම කටයුතු සඳහා 12 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද පත් කෙරෙන බව බැචලේ මාර්තු මාසයේදී කවුන්සිලයට දැනුම් දුන්නාය.

 එ.ජා. සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළවුන් සම්බන්ධයෙන් සාක්ෂි රැස් කළ යුතු බවත් එම රටවලදීම එසේ මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඇය එහිදී නිර්දේශකොට තිබිණි. එසේම එසේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනාවට ලක්වූවන්ට එරෙහිව දේපළ තහනම් කිරීම හා සංචාරක තහංචි පැනවීම කළ යුතු බව ද ඇය නිර්දේශ කළාය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට එරෙහිව විදේශවලදී නඩු විභාගකොට දඬුවම් කළ යුතු යැයි මානව හිමිකම් කවුන්සිලය පවසන්නේ 2009 සිට ඒ සඳහා දේශීය හෝ දේශීය හා විදේශීය වශයෙන් මිශ්‍ර අධිකරණ යාන්ත්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසාය.

එහෙත් නඩු පැවරීම, දේපළ තහනම් කිරීම වැනි මානව හිමිකම් කවුන්සිලය කරන මෙවැනි නිර්දේශ පිළිගෙන ක්‍රියාත්මක කළ යුතු යැයි නීතිමය බැඳීමක් එ.ජා. සාමාජික රටවලට නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන හා හමුදා නායකයන්ට ඇති සහනය එයයි. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඒ ඒ රටවල ස්වාධීන කැමැත්ත මත තීරණය වනු ඇත.

මෙරට දෙමළ පක්ෂ මෙම මානව හිමිකම් ප්‍රශ්න එ.ජා. ආරක්ෂක මණ්ඩලය මගින් අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කළ යුතු යැයි කියයි. එහෙත් එසේ මෙම කරුණු අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කරන ලෙස ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටීමට මානව හිමිකම් කොමිසමට බලයක් නැතැයි මානව හිමිකම් පිළිබඳ හිටපු එ.ජා. මහකොමසාරිස් නවනීදම් පිල්ලෙයි පසුගිය පෙබරවාරි මාසයේදී සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි. ඇය පවසන්නේ එය ද සාමාජික රටවල් කළ යුතු බවය. එහෙත් ඒ කෙසේදැයි ඇය පවසා නොතිබිණි.

අනෙක් අතට එවැනි කාරණයක් ආරක්ෂක මණ්ඩලයේදී සම්මත විය යුතු වේ නම් එවැන්නක් ශ්‍රී ලංකාවේ මිතුරු රටවල් වන චීනය හා රුසියාව සිය නිශේධ බලය යොදා වැළැක්වීමට ඉඩ තිබේ. ඒ නිසා මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනාවට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන හෝ හමුදා ප්‍රධානියකුට නුදුරු අනාගතයේදී කිසිදු ගැටලුවක් පැන නැගීමේ අනතුරක් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන තොරතුරු හා සාක්ෂි රැස් කිරීම මාස 18ක කාලයක් සිදුවනු ඇතැයි බැචලේ පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශ කළාය. එනම් එම කටයුතු ලබන වසරේ සැප්තැම්බර් මාසය ද ඉක්මවා සිදුවනු ඇත. ඉන්පසු යම් සාමාජික රටක් මේ රටේ රජයට සම්බන්ධ හෝ කොටි සංවිධානයට සම්බන්ධ යමකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත්ත ද ඔවුන් අධිකරණය හමුවට පමුණුවන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. ඒ අනුව මෙම ක්‍රියාවලියෙන් මේ රටේ කිසිදු දේශපාලනඥයකුට හෝ හමුදා ප්‍රධානියකුට අනතුරක් ඇතැයි නොපෙනේ.

ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ද පවසා තිබුණේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දත්ත ගබඩාවක් ස්ථාපනය කිරීම වැදගත් පියවරක් වුවද එහි සැබෑ බලපෑම රැඳී ඇත්තේ එ.ජා. සාමාජික රටවල් සැබෑ ක්‍රියාමාර්ග සඳහා එම දත්ත ගබඩාව භාවිත කිරීම මත බවය.

ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ත්‍රස්තවාදයකට බවත්, මේ රටේ මැතිවරණ මගින් ප්‍රජාතන්ත්‍රවාද ක්‍රියාත්මක වන බවත් මෑතකදී කොටි සාමාජිකයන් 16 දෙනකු නිදහස් කළ බවත්, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය අතුරුදන් වූවන් පිළිබඳ ලැයිස්තුවක් සකස් කරමින් සිටින බවත්, හානිපූර්ණ කාර්යාලය මේ වසරේදී යුද්ධයේදී විපතට පත්වූවන් 3,775 දෙනකුගේ වන්දි ඉල්ලීම සලකා බලා ඇති බවත්, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය සිය අට වැදෑරුම් වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කරමින් යන බවත්, පසුගිය 14 වැනිදා මානව හිමිකම් කවුන්සිලය සූම් තාක්ෂණය මඟින් අමතමින් කියා සිටි විදේශ ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඒ අනුව බාහිර ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන බව පැවැසීය.
 
මේවායින් අතුරුදන්වූවන් පිළිබඳ ලැයිස්තු සකස් කිරීම, යුද්ධයේදී විපතට පත්වූවන්ට වන්දි ගෙවීම හා ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය පවත්වාගෙන යාම ගැන අසන්නට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝ දෙනා සතුටු නොවනු ඇත. මන්දයත් පසුගිය ආණ්ඩුව පැවැති කාලයේදී ඔවුන් මේවා හෙළාදුටු හෙයිනි. වන්දි ගෙවීම ඔවුන් හැඳින්වූයේ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමක් ලෙසය.
කෙසේ වෙතත් මෙම කරුණු මඟින් මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාමාර්ග වෙනස් කළ හැකි යැයි සිතීම මුළාවකි. එම ක්‍රියාමාර්ගවලින් එතරම් බලපෑමක් නොවීම වෙනම ප්‍රශ්නයකි.

එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ හා යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම කටයුතු දේශපාලන හා හමුදා ප්‍රධානීන්ට එතරම් බලපෑමක් කරනු ඇතැයි දැනට නොපෙනුණ ද මෙරට මානව හිමිකම් ප්‍රශ්න මෙරට ආර්ථිකයට බලපෑමේ ඉඩක් ඇත. ඒ, යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාව මඟිනි.

එම යෝජනාවේ ද අන්තවාදී අදහස් ඇතැයි පොලිසිය සිතන පුද්ගලයන් නඩු විභාගයකින් තොරව වසර දෙකක් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යැවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හිජාස් හිස්බුල්ලා  හා අහ්නාෆ් ජසීම් රඳවාගෙන සිටීම ආදී කරුණු ඇතුළත් වන අතර, මානව හිමිකම් කොමිසමේ 2021 මාර්තු යෝජනාව හා ඊට පෙර මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් චෝදනා ද සිහිපත් කෙරේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ජී.එස්.පී. ප්ලස් බදු සහනය මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීම සඳහා ලිවරයක් ලෙස යොදාගන්නා ලෙසත්, අවසාන ක්‍රියාමාර්ගයක් වශයෙන් එම බදු සහනය ඉවත් කරගැනීම ගැන සොයා බලන ලෙසත් යුරෝපා පාර්ලිමේන්තුව එම යෝජනාව මඟින් යුරෝපා කොමිසමෙන් හා යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවාවෙන් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ආණ්ඩුව යුරෝපා පාර්ලිමේන්තුවේ කොන්දේසිවලට එකඟ වූ බවක් පෙනෙන්නට නොතිබිණි. මේ තත්ත්වය යටතේ මේ ප්‍රශ්නය පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ දූත පිරිසක් මේ මස 27 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වුවහොත් මෙරටට පාකිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව හා වියට්නාමය වැනි එම සහනය ලබන රටවල් සමඟ යුරෝපා වෙළෙඳපොළේදී තරග කිරීම ඉතා දුෂ්කර වනු ඇත. එය විදේශ සංචිත පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටින මෙරටට තවත් බරක් පැටවීමකි.

යුද්ධය පැවැති කාලයේ සිදුවීම් කෙසේ වෙතත් මෑත කාලයේදී මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ල වන ඇතැම් චෝදනා වළක්වාගත නොහැකි වී ද යන්න ගැටලුවකි. අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව පුද්ගලයන් පුනරුත්ථාපනයට යැවීමේ ගැසට් පත්‍රය, චෝදනා නැතිව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම, පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් ඝාතනය වීම, උද්ඝෝෂණ මර්දනයට කොවිඩ් මර්දන නීති යොදා ගැනීම, දේශපාලන හේතු මත දඬුවම් ලබා සිටින්නන් නිදහස් කිරීම, ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට නඩුවලින් වැරැදිකරුවන් වූවන් නිදහස් කිරීම, යාපනයේ යුද්ධයෙන් මියගියවුන් සඳහා වූ ස්මාරකය කඩා යළි ඉදිකිරීම වැනි චෝදනා මඟහරවාගත හැකි වූ ඒවාය.

(*** එම්.එස්.එම්. අයුබ්)



Recommended Articles