බුද්ධගයාව බේරාගත් අනගාරික ධර්මපාලතුමා


මහා බෝධි සංගමයේ ප්‍රාරම්භකයා වූ අනගාරික ධර්මපාලතුමාගේ 157 වැනි ජන්ම දින සංවත්සරය අදට (17) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

විසිවැනි සියවස එළඹීමත් සමගම ලෝකයේ බෞද්ධ ජනතාවගේ අතිපූජනීය භූමිය බෞද්ධයන්ගේ පාලනයට නතු කර ගත යුතු බවට ව්‍යාපාරයක් ඔහු ආරම්භ කළේය. ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූත්, හිටපු වෘත්තීය සමිති අමාත්‍යවරයා වූත්, ජෙයිරාම් රමේෂ් මෙම ව්‍යාපාරය පිළිබඳව ඔහු අලුතෙන් ලියා පලකළ “The Light of Aisa – the Poem that defined the BUDDHA” නම් පොතේ ඒ පිළිබඳව සඳහන් කර තිබේ. මේ එයින් උපුටා ගත් කොටසකි.

‘බොහෝ ඉතිහාසඥයන් මහාබෝධි විහාරය සම්බන්ධ ගැටලුව ගැන පොත් ලිවීමත් පත්‍රිකා අධ්‍යයනයත් කර තිබේ. දශක හතක් තිස්සේ පැවති මෙම ගැටුමට අදාළ ඓතිහාසික පසුබිම දීර්ඝ වූත් සංකීර්ණ වූත් එකකි. එහෙත් ඒ පිළිබඳ ඇතැම් මූලික කරුණ සම්බන්ධයෙන් මතභේද උද්ගතවී නැත.

‘මෞර්ය්‍ය වංශයේ අශෝක අධිරාජයා පූජාකර්මයන්ට කැපවූ පළමු අවුරුදු දහය තුළ එනම්, ක්‍රි.පූ. 259-8 පමණ බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ සෙවන දුන් බෝධි වෘක්ෂය වැඳ පුදා ගන්නට පැමිණියේය. කාලයත් සමග විහාරස්ථානවල ස්වරූපය රැගත් විවිධ ගොඩනැගිලි මෙම ස්ථානයේ බුදුන් වහන්සේට ගරු බුහුමන් දැක්වීම උදෙසා ඉදිවූ බව පෙනී යයි. ක්‍රි.ව. පස්වැනි සියවසේදී මෙම ස්ථානයේ විහාරස්ථානයක් ප්‍රතිසංස්කරණ වෙමින් පැවති බව පෙනේ. බුද්ධාගම ක්‍රමයෙන් මෙම ප්‍රදේශයෙන් ඉවත්ව යද්දී මෙම පරිශ්‍රය තුළ හින්දුන්ට අයත් වන්දනය සිදු වූයේය. සියවස් ගණනක් ගෙවී යද්දී මෙම ස්ථානයේ බුද්ධ වන්දනය සිදු වුවද එසේ කරන ලද්දේ බුදුන් වහන්සේ හින්දු දෙවියකු ලෙස සළකාගෙනය.

‘1886 ජනවාරි මාසය මැද ඉංග්‍රීසි ජාතිකයකු වූ (සර් එඩ්වින්) ආර්නොල්ඩ් බෝධි වෘක්ෂයත් පූජනීය විහාරස්ථානයත් පැවති භූමියට පැමිණියේය. තමා දුටු දෙයින් ඔහු මහත් සන්තාපයටත් කම්පාවටත් පත් වූයේය. ඔහු ලක්දිව පානදුර ප්‍රදේශයට පැමිණ වැලිගම ශ්‍රී සුමංගල හිමියන් සමග සාකච්ඡාවේ යෙදෙන අවස්ථාවේ තමා මෑතකදී දුටු බුදුන් වහන්සේ දිවි ගෙවූ ඓතිහාසික ප්‍රදේශයේ එවකට වටපිටාව පිළිබඳ විස්තරයක් කළේය. එවිට ලක්දිව වැඩ වාසය කළ එම හිමිනම, යම් දිනක එම බුද්ධගයා පූජා භූමියේ භාරකාරත්වය බෞද්ධයින් අතට පත් වනු දකින්නට තමා තුළ වූ ආශාව පළ කර සිටියේය.

‘බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් භාවනා කොට බුද්ධත්වයට පත් වූ එම බෝධි මූලයේ පමණක් නොව පරිනිර්වාණය ලැබූ ස්ථානයද බෞද්ධයින්ගේ භාරකාරත්වය යටතේ පැවතිය යුතු බව වැලිගම ශ්‍රී සුමංගල හිමියන් තමාට කී බව’ ආර්නෝල්ඩ් ලියා ඇත.

1891 මුල් භාගයේ අනගාරික ධර්මපාලතුමන්ගේ අවතීර්ණයත් සමග මෙම තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේය. සිංහල ජාතිකත්වය ගොඩනැගීමේලා පුරෝගාමී වූ තැනැත්තා හැටියට සැලකෙන්නේ ඔහුය. දශක හතරක් පුරා 1933 අප්‍රේල් මාසයේ ඔහුගේ මරණය සිදුවනතුරුම ඉන්දියානු බෞද්ධ උරුමය සහ සම්ප්‍රදායයන් නැවත ගොඩනැගීමේ සටන තනිවම ගෙන ගියේ ඔහුය. සිය කැමැත්තෙන්ම 1886 දී ආර්නෝල්ඩ් ලියා තැබූ "India Revisited” නම් විස්තරය කියවූ ධර්මපාලතුමා මහාබෝධි විහාරස්ථාන පුද බිමට කරන අවමානය සම්බන්ධයෙන් කෝපයට පත් වූයේය. ඊට වසර තුනකට පසුව කියෝටෝ හි රෝහලක ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව හෙතෙම The light of Asia කියවා අපේක්ෂා දල්වා ගනිමින් යම් සහනයක් ලැබුවේය.

1891 ජනවාරි 22 වැනිදා ජපන් ජාතික භික්ෂුවක් සහ පාලි විද්වතකු වූ කොසෙන් ගුණරත්න කැටුව ඔහු බුද්ධගයාව වෙත පැමිණියේය. එතුමා පසු කලෙක සිදුවීම් මතක් කරමින් නැවත නැවත කී දෙයින් මහාබෝධි විහාරය හින්දුවරුන්ගේ චන්දනාමානයට කෙතරම් දුරට පාත්‍රවීද යන්නත්, එය බෞද්ධයින්ට වැදගත් සිද්ධස්ථානයක් වේය යන මතයට ඔවුන් කෙතරම් නිග්‍රහ කළේද යන්නත් පෙනී යයි. මහා බෝධි විහාරස්ථානය යළිත් වරක් බෞද්ධ විහාරස්ථානයක් බවට නිසි අයුරින් පවත්වාගෙන යන බවටත් ධර්මපාලතුමා ප්‍රතිඥා දුන්නේය.

1891 මැයි 31 වැනිදා ඔහු කොළඹ මහාබෝධි සංගමය පිහිටවූයේය. 1886 පෙබරවාරියේ ආර්නොල්ඩ් මුණගැසී බුද්ධගයාව බෞද්ධයින්ගේ පාලනයට නතු කරගන්නා බව කී වැලිගම ශ්‍රී සුමංගල හිමියෝ එහි සභාපති පදවියට පත්වූහ. හෙන්රි ස්ටීල් ඕල්කට් එහි අධ්‍යක්ෂවරයා වූ අතර එහි මහලේකම් බවට පත් වූයේ ධර්මපාලතුමාය. කළමනාකරණ කමිටුවට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් සාමාජිකයන් පත් කරන ලදී. එහි ලන්ඩන් නියෝජිතවරයා බවට පත් වූයේ ආර්නෝල්ඩ්ය.

1891 සංගමය වෙනුවෙන් ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා සිව් නමක් බුද්ධ ගයාව වෙත වැඩම කරවූයේය. 1891 ඔක්තෝබර් මාසයේදී එහි අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් ද සංවිධාන කෙරිණි. විහාරස්ථානයේ පාලනය බෞද්ධයින් අතට පත් කිරීමේ සියලු කටයුතු එවකට බ්‍රිතාන්‍යය ඉන්දියාවේ අගනගරයේ සිට කළ යුතු බව වටහාගත් ධර්මපාලතුමා වසරකට පසු සංගමය කල්කටාවට ගෙන ගියේය.
චිකාගෝ නුවර පැවැති ලෝක ආගමික පාර්ලිමේන්තුවට සහභාගි වූ ධර්මපාලතුමා ආපසු පැමිණෙන ගමනේදී ජපානයේ නැවතුනේය. 1893 නොවැම්බර් මාසය වූ එදවස, එහිදී අවුරුදු 700ක් පැරණි බුදු පිළිමයක් එතුමාට තෑගි කරන ලදී. එය යෝකෝහාමා සමීපයේ, කනගාවා හි විහාරස්ථානයක තැන්පත් කර තිබූ පිළිමයකි. තමාට තෑගි ලැබුණු බුදු පිළිමය මහා බෝධි විහාරයේ පූජා කුටියක ස්ථාපනය කිරීමට ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය රජයෙන් අවසර පැතුවේය. එහෙත් එය හින්දුන්ගේ මතයට විරුද්ධ ක්‍රියාවකැයි කළබල වූ බ්‍රිතාන්‍යයෝ ඇත්ත සඟවා කතා කළහ. ඒ සමග ධර්මපාලතුමාගේ ජපාන සම්බන්ධතා ද ඔවුහු සැකයට භාජනය කළහ.

අවසානයේ 1895 පෙබරවාරි 25 වැනිදා ඒකපාර්ශවික තීරණයක් ගත් ධර්මපාලතුමා විහාරස්ථානයට ඇතුළුව බුදු පිළිමය පූජා ගර්භයේ තැන්පත් කළේය. ඒ වන විට එය හිස්ව පැවතිණි. ඔහු ඊට වන්දනාමාන කරන්නට සූදානම් වෙද්දීම අවි රැගත් පිරිසක් විහාරයට කඩා වැදී බුදු පිළිමය උදුරාගෙන එය වෙනත් තැනක අතහැර දැමූහ. ඉන්පසු එය අසල පිහිටි බුරුම තානායමක තබනු ලැබුවේය. කඩා වැදුණු මිනිසුන් හින්දු පූජකවරයාගේ සහචරයින් බව දැනගත් ධර්මපාලතුමා, වන්දනාමාන කරන ස්ථානයකට බලෙන් කඩා වැදී ආගමික දේපළවලට හානි කිරීමට එරෙහිව ඔවුනට අපරාධ චෝදනා එල්ල කරන්නට තීරණය කළේය.

ධර්මපාලතුමා එකී නීතිමය පියවර ගත්තේ සුමංගල හිමියන් සහ ඕල්කොට්තුමාගෙන් ඔහුට ලැබුණු සියලුම උපදෙස්වලට පටහැනිව බව කිවමනාය. මහාබෝධිය වන්දනා කරන්නට බෞද්ධයන්ට ඇති අයිතිය සම්බන්ධයෙන් දෝෂාභියෝග එල්ල කළ නොහැකි වුවද ඔවුන්ගේ නීතිමය හිමිකාරිත්වය එහිදී පැහැදිලි නොවූ බව ඔවුන් ඇතැම්විට දැන සිටින්නට ඇත.

එම නඩුව මුලින්ම විභාගයට ගැනුනේ එම ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වූ ඩී.ජේ. මැක් ෆර්සන් ඉදිරියේය. ඒ 1895 අප්‍රේල් 8 වැනිදාය.

1895 ජුලි 19 වැනිදා මැක්ෆර්සන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඔහු විත්තිකරුවන් දෙදෙනකු චෝදනාවෙන් නිදහස් කොට තිදෙනකු ඉන්දියානු අපරාධ විධි විධාන සංග්‍රහය කඩ කළ බවට තීන්දු කළේය. ඔවුන්ට දඩ නියම කළ අතර මාසය බැගින් සිර දඬුවම් ද නියම විය. විහාරස්ථානයේ අයිතිය පිළිබඳ ප්‍රධාන ගැටලුවට මෙයින් විසඳුමක් ලැබේයයි ධර්මපාලතුමා බලාපොරොත්තු වූ බවට සැක නැත.

පූජකවරයා (මහාන්ත්) විහාරස්ථානය සහ එහි පරිශ්‍රය සම්බන්ධයෙන් යම් ආකාරයක හිමිකමක් බුක්ති වින්දේ වුවද, එය පූර්ණ හිමිකමක් ලෙස ඔවුන් නොසැලකිය යුතු බවටත්, තමාට හිතෙන ඕනෑම දෙයක් විහාරය ඇතුළත කළ හැකියයි පූජකවරු නොසිතිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

විහාරස්ථානයේ අයිතිය ද්විත්ව භාරකාරත්වයක් ලෙස හැඳින්වූ මැක්ෆර්සන් එම භාරකාරත්වය පූජකවරයා සහ රජය අතර බෙදී යා යුතු බව තීරණය කළේය. රජය මෙම සිද්ධියට සම්බන්ධ වූයේ ඒ වන විට බුද්ධගයාව තුළ රජයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පැවති නිසාය.

මෙය ධර්මපාලතුමාණන්ට අර්ධ ජයග්‍රහණයක් විය. එහෙත් පූජකවරයා දිස්ත්‍රික් උසාවියට කල් නොයවාම අභියාචනයක් ඉදිරිපත් කළේය. අභියාචනය විමසනු ලැබුවේ හර්බර්ට් හොල්ම්වුඩ් විනිසුරුවරයාය. ඔහු සිර දඬුවම ඉවත් කර දැමූ අතර දඩය තිබෙන්නට හැරියේය.

1895 ජුලි 30 වැනිදා විහාරයට සහ පරිශ්‍රයට ඇති පූජකවරයාගේ හිමිකම් අයිතිය 1886 රජය නිකුත් කළ පුරාණ සිහිවටන පිළිබඳ ලේඛනයේ සඳහන් වන නමුදු එය ඔප්පුවක් හෝ පැවරුමක් ලෙස නීතියෙන් පිළිගතයුතු නැති බවද ඔහු තීන්දු කළේය.

එයින්ද සෑහීමකට පත් නොවූ පූජකවරයා කල්කටා මහාධිකරණයට දෙවැනි අභියාචනය ඉදිරිපත් කළේය. විනිසුරන් දෙදෙනකුගෙන් සමන්විත අධිකරණය 1895 අගෝස්තු 22 වැනිදා තීරණය ප්‍රකාශයට පත් කළේය. එයින් සිර දඬුවමත්, දඩයත් යන දෙකම ඉවත් කරනු ලැබීය. එහිදී දෙදෙනාගෙන් එක් අයකු වූ බ්‍රිතාන්‍ය ජාතික විනිසුරුවරයා කියා සිටියේ ‘‘විහාරස්ථානය පූජකවරයාට පැවරී නොමැති නම් එය කිසිම කෙනෙකුට පැවරී නැති බව පෙනී යයි’’ යනුවෙනි.

අනෙක් විනිසුරුවරයා (ඉන්දියානු) කියා සිටියේ “නඩුවට ඉදිරිපත්ව ඇති සාක්කිවලින් පූජකවරයාගේ පාලනයට අදාළ කාලය සහ ස්වභාවය අනාවරණය නොවන බැවින් මේ සම්බන්ධ තීන්දුවක් දිය නොහැකිය” යන්නයි.

ධර්මපාලතුමා මෙයින් දැඩි පසුබෑමකට ලක් වූයේය. එතුමාගේ මෙම ව්‍යාපාරයේදී ඉන්දියානුවන්ට අයත් පුවත්පත් ඔහුට සහයෝගය දුන් අතර බ්‍රිතාන්‍ය හා බැඳුණු පුවත්පත් ඔහුට විරුද්ධත්වය පෑවේය.
ජපානයෙන් ලැබුණු බුදු පිළිමය කල්කටාවේ මහාබෝධි සංගමයේ මූලස්ථානය වෙත 1910 දී ගෙන එනු ලැබීය. එයින් නොසැලුණු ධර්මපාලතුමා බුද්ධගයාවේ පූර්ණ පාලනය බෞද්ධයන්ට ලබාගැනීමේ ව්‍යාපාරය දිගටම ගෙන ගියේය. 1922 ඉන්දියානු ජාතික කොංග්‍රසයේ වාර්ෂික සැසිය පවත්වනු ලැබුවේ ගයාහිදීය. මෙම ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දෙන ලෙස එහිදී මහත්මා ගාන්ධිට අභියාචනයක් ඉදිරිපත් විය.

1922 දී ඔහු ගාන්ධි කෙරේ බලාපොරොත්තු තබා සිටියද ගාන්ධි කළේ තම බිහාර් ප්‍රදේශයේ නියෝජිත රාජේන්ද්‍ර ප්‍රසාද්ට සම්පූර්ණ වගකීම පැවරීම පමණකි. නිදහස් ඉන්දියාවේ පළමු ජනාධිපතිවරයා බවට පත්වූ ඔහු සියවසේ ඊළඟ විසිපස් වසරම ගැටලුව සමග පොර බදමින් සිටියේය.
1949 ඉන්දියාවට නිදහස ලැබීමෙන් වසර දෙකකට පසු හෙවත් අනගාරික ධර්මපාලතුමාගේ මරණයෙන් වසර 16කට පසුව මහාබෝධි විහාර පනත සම්මත විය. එමගින් එම ශුද්ධ භූමියේ ඒකාබද්ධ පාලන කමිටුවේ හින්දුන් හා සමාන හඬක් නැගීමේ අයිතිය බෞද්ධයන්ට හිමි වූයේය. එය දැන් හැඳින්වෙන්නේ බෝද් ගයා නැතහොත් බුද්ධ ගයාව යනුවෙනි.

 

(***)
විශේෂ ලියුම්කරුවකු විසිනි
(පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ)



Recommended Articles