”කෝටි ගාණකට ඉල්ලූ අපේ සුදු කැස්බෑවා ඊයේ රෑ හොරකම් කරලා...”යි කොස්ගොඩ චන්ද්‍රසිරි ආබෲගේ වැඩිමහල් දියණිය උඳුවප් පුන්පොහෝදා හිමිදිරි පාන්දරම දුරකථනයෙන් මා හට පැවසුවේ ඉකිබිඳිමින් හා බලවත් කම්පාවෙනි. සුදුපාට පිනිකැට කඩා වැටෙන උඳුවප් පොහෝදා උණුසුම් කරවූ පුවත රටම උණුසුම් කරවන පුවතක් වූයේ නිමේශයකිනි.
”අනේ අයියේ..... බලන්නකෝ අපේ සුදු කැස්බෑවා ඉල්ලලා පුදුම කරදරයක් තියෙන්නේ. කෝටි ගණන් දෙන්න අහනවා..... අපේ තාත්තා දරුවෙක් හදනවා වගේ රෝසි හැදුවේ.... කීයටවත් අපි නම් රෝසි විකුණන්නේ නැහැ....” යි චාමලී (ලොකු නංගී) කීපවරක්ම මා සමග කීවේ මාස ගණනක සිටමය.
![]() |
කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි
|
කොස්ගොඩ සුදු කැස්බෑවා පැහැර ගැනීමේ ආරංචිය ලත් මා විජේසිංහ සමග එහි ගියේ පියාපත් ලැබුවාක් මෙනි. කොස්ගොඩ පොලිසිය පිටුපස හිද්දරුව පාසල් මාවතේ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයට අප යන විට එහි හිමිකරු චන්ද්‍රසිරි මහතා සිටියේ හැඬූ කඳුළෙනි. දරාගත නොහැකි තරම් වේදනාවකින් ඔහු පෙලෙයි. මට ආරංචිය දුන් චාමලී තම පියා සනසාලීමට ගන්නා වෙහෙස අපමණය. එහි සේවකයන් මෙන්ම ආරංචිය සැලවී පැමිණ සිටි හිතවතුන් ද සිටියේ කම්පාවෙන් යුතුවය. චන්ද්‍රසිරි ආබෲගේ කොස්ගොඩ පිහිටි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය දිනපතා දෙස්-විදෙස් සංචාරකයන් රැුසක් පැමිණෙන්නේ කැස්බෑවන් දැකබලා ගැනීමට මෙන්ම ඔවුන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් යුතුවය. කාලයක් තිස්සේ කරගෙන ආ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානයට 2004 දෙසැම්බර් 24 දා ගොඩගැලූ සුනාමියෙන් බලවත් හානියක් සිදුවිය. එහෙත් ටික කලක් යන්නට මත්තෙන් තිබුණාටත් වඩා හොඳින් එය ගොඩනගා සංරක්‍ෂණය කිරීමට ඔහුට හැකිවූයේ අධිෂ්ඨානය, බලවත් කැපවීම නිසාවෙනි.
අනන්ත මහ සයුරේ වෙරළට පැමිණ බිජු ලා නැවත මහසයුරට කැස්බෑවන් ගිය ද බිත්තර විනාශ වීමට නොදී රැකගත්තේ චන්ද්‍රසිරිය. කැස්බෑ බිත්තර රක්කවා පැටවුන් බිහිවූ පසු ලක්‍ෂ ගණනක් යළි දියඹට දැම්මේ ඔහුය. ඒ වැඬේ අකුරටම කළේ තම යුතුකම වගකීමක් ලෙස සලකමිනි. මෙරට ඇති කැස්බෑවන් වර්ග සියල්ලම තර්ජනයට ලක්වූවන්. IUCN වාර්තා වලින් ප‍්‍රකාශයට පත් කර ඇත. මේ කැස්බෑ වර්ග අතර ඇලි කැස්බෑවන් ඉතාම දුර්ලභ සම්පතක් බව කැස්බෑ විශේෂඥ ආචාර්ය ලලිත් ඒකනායක මහතා පවසයි. ඇලි කැස්බෑ පැටවකු බිහිවී වැඩිහිටි කැස්බෑවෙක් බවට පත්වන්නේ පැටවුන් ලක්‍ෂයකින් එකකු බව ආචාර්ය ඒකනායක මහතා කියයි. අනවසරයෙන් ජීව කැස්බෑවන්, බිත්තර, කැස්බෑ ලෙලි හා මස් තබා ගැනීම නීතියෙන් තහනම් බව ද අවධාරණය කළේ මොවුන්ගේ ඇති දුර්ලභ බව නිසාවෙනි.
කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටි ඉතාම දුර්ලභ ඝනයේ සුදු කැස්බෑවා සොරකම් කොට ඇත්තේ මොවුන්ගේ දුර්ලභ බව නිසාමය. මේ නිසාම මොවුන් අධික මිල ගණන් වලට මිලකර විකුණන සත්ව කොටසක් බවට පත්ව තිබේ.
සොරකම් කර ඇති ඇලි කැස්බෑවා (ගල් කැස්බෑවා) කොළ කැස්බෑ විශේෂයට අයත් වේ.
තමා ළඟ සිටි සුදු කැස්බෑවා (රෝසි) දැනට මාස ගණනක් තිස්සේ රුපියල් ලක්‍ෂ 50 සිට ලක්‍ෂ 400 දක්වා මිලදී ගැනීමට විවිධ පුද්ගලයන් පැමිණි බව චන්ද්‍රසිරි ආබෲ මහතා අප සමග කීය. රෝසි ජීවත් වූ කැස්බෑ මධ්‍යස්ථානය ඉකුත් 15 දා සවස 6.30ට වැසූ බවත් පසුදා (16) දා උදෑසන 6.00ට පමණ එය නැවත විවෘත කළ පසු කැස්බෑවා සොරකම් කර ඇති බව දැනගත් බව සේවකයකු වූ බී.එච්. දමින්ද මහතා පොලිසියට පැමිණිලි කරමින් කීවේය.
දැනට ලංකාවේ සිටි සුදු කැස්බෑවුන් පස්දෙනාගෙන් හතරදෙනකුම සිටියේ මේ සංරක්‍ෂණ මධ්‍යස්ථානයේය. මේ වන විට එකකු පැහැරගෙන ගොස් තිබේ. චන්ද්‍රසිරි සතු ඇලි කැස්බෑ පැටවු තිදෙනාගෙන් දෙදෙනකුම ඇලි කැස්බෑවා සොරකම් කිරීමට පෙර හා පසු දිනවල බිහිවූ පැටවුන් විශේෂත්වයකි. අනික් ඇලි කැස්බෑවා සිටිනුයේ ඒ ආසන්නයේම පිහිටි වැලිපාරේ අමරසේන ප‍්‍රනාන්දු මහතාට අයත් සංරක්‍ෂණ මධ්‍යස්ථානයේයි. නැතිනම් හැචරියේය.
මා එහි යන විටත් කොස්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක සොයිසා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ජානක සම්පත් යන මහත්වරු පැමිණ සිටියේ පරීක්‍ෂණවලට මුලපුරමිනි. කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලාල් උඩුගමගේ මහතා පැමිණියේ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ නිල සුනඛ අංශය ද පරීක්‍ෂණ වලට හවුල් කර ගැනීමට හා හෝඩුවාවක් හෝ ලබාගැනීමේ අදහසිනි. ඇල්පිිටිය අපරාධ විමර්ශන ඒකකය මෙන්ම අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි අනිල් රුක්මන් මිරැන්ඩු මහතා ඊට එක්වූ පොලිස් පරීක්‍ෂණ වලට තවත් ජවයක් ලබා දෙමිනි.
වනජීවී දෙපාර්තමේන්තු වද පරීක්‍ෂණයක් ආරම්භ කෙරුණි. රෝසි නැමැති කැස්බෑවා මිලදී ගැනීමට විවිධ පුද්ගලයන් පැමිණියා. ජනප‍්‍රිය ගායකයෙක් ද ආවා. ඔහු මාත් එක්ක අමනාප වෙලා ගියේ. අප ළඟ වාහන නොම්මර වගේම බලපෑම් කරපු දුරකථන අංක සියයක් විතර තිබෙනවා. චන්ද්‍රසිරි ආබෲ සහකාර පොලිස් අධිකාරි මිරැුන්ඩු මහතා සමග කීය.
මේ සුදු (ඇලි) කැස්බෑවා මාලදිවයින් ජාතිකයන් දෙදෙනකුට විකිනීමට මෙම ජනප‍්‍රිය ගායකයා උත්සාහ දැරූ බව ආබෲ මහතා එහිදී පැවසුවේ තමා එම ඉල්ලීම දැඩි සේ ප‍්‍රතික්ෂේප කළ බව ද කියමිනි. කැස්බෑවාගේ කටුවේ නම කොටා ජීවම් කොට පූජාවක් කිරීමට මෙම කැස්බෑවා ගෙන යාමට උත්සාහ දැරූ බව චන්ද්‍රසිරි ආබෲ කීය. විදෙස් රටක රාජ්‍ය නායකයකුගේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් මේ කැස්බෑවා ගෙනයාමට උත්සාහ කර තිබෙන බවට ඔහුට දැනගන්නට ලැබී තිබුණි. මේ මධ්‍යස්ථානයේ ප‍්‍රදර්ශන කුටියක මියගිය සුදු කැස්බෑවකුගේ සිරුර ආරක්‍ෂිත ලෙස තැන්පත් කර තිබේ. මේ කැස්බෑවා නැරඹීමට පැමිණි කවරකු හෝ දුන් චුයින්ගමයක් හිරවී එම කැස්බෑවා අවසන් ගමන ගිය බව මෙහිදී අපට දැනගන්නට ලැබුණි.
ආවරණය කර ඇති භූමියේ කැස්බෑවන් සඳහා ටැංකි රැසකි. කුඩා කැස්බෑ පැටවාගේ සිට විවිධ වර්ගවල ලොකු කුඩා කැස්බෑවෝ එහි සිටිති. කැස්බෑ හොරකම් කළ දා රාත‍්‍රියේ එහි ආරක්‍ෂාවට තිදෙනකු යොදවා ඇත. ජර්මන් ෂෙපර්ඞ් වර්ගයට අයත් කළු පැහැති බල්ලා ද බැඳ සිටියේ සොරකම් කරන ලද කැස්බෑවා සිටි ටැංකිය අසලය. ඉතාම හොඳින් දන්නා අයකු හැර වෙන අන් කිසිවකුට ඒ අසලට ඒමට බල්ලාගෙන් ඉඩක් නොලැබේ. තර්ජන ආ දා සිට බල්ලා බැඳ සිටියේ මේ ටැංකිය අසලය.
කැස්බෑ සොරකම ගැන කොස්ගොඩ පොලිසිය කීපදෙනකුගේම ප‍්‍රකාශ සටහන් කර ඇති අතර කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කළ අය හා දුරකථන වාර්තා හා චන්ද්‍රසිරි ආබෲ මහතා දුන් දුරකතන අංක හා වාහන අංක අනුව පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. කැස්බෑවා මිලදී ගැනීමට පැමිණි අයගේ තොරතුරු ද පොලිසිය ලබාගෙන තිබේ. මේ සම්බන්ධව පරීක්‍ෂණයක් කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය. මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවත් පරීක්‍ෂණ වලට බාධාවක් වන බැවින් එම තොරතුරු හෙළිදරව් කිරීමට නොහැකි බවත් උසස් පොලිස් නිලධාරියෙක් මා සමග පැවසීය.
![]() |
පොලිස් නිල සුනඛයන් යොදා ඇල්පිටිය විශේෂ අපරාධ ඒකකය අතුරුදන් කැස්බෑවා සිටි ටැංකිය අසල පරික්ෂා කරමින් |
ලොව දුර්ලභ කැස්බෑවකු සොරකම් කරගැනීමත් සමග රටේ ජනපි‍්‍රය ගායකයෙකුගේ ද නමක් කියැවිණ. ඒ ඔහු මේ කැස්බෑවා මිලදී ගැනීමට පැමිණි නිසාවෙනි. කොස්ගොඩ පොලිසියේ දැනුම් දීම අනුව ගායන ශිල්පි අමල් පෙරේරා මහතාට ඉකුත් 18 දා පෙරවරුවේ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොස්ගොඩ පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබූ අතර එම දිනයට ඔහු පැමිණෙන බවට තහවුරු කර තිබුණි.
18 දා උදේ කොස්ගොඩ පොලිසිය වෙත ගිය මාධ්‍යවේදීන්ට ස්ථානාධිපති ලාල් උඩුගමගේ මහතා පැවසුවේ මංගල උත්සවයකට සහභාගි වන බැවින් ඔහු අද දින නොපැමිණෙන බවත් හෙට දින පැමිණෙන බවත්ය. අමල් පෙරේරා නාවොත් මොකද කරන්නේ යැයි මාධ්‍යවේදීන් විමසූ විට පළපුරුදු නිලධාරියකු වූ ස්ථානාධිපතිවරයා කීවේ පරීක්‍ෂණ වලට අවශ්‍යම කෙනෙක් බව තහවුරු වුණොත් කොහේ හිටියත් ගේන හැටි මා දන්නවායි කියමිනි. අමල් පෙරේරා නොපැමිණෙන බවට කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා කී කථාව මාධ්‍යවේදීහු පිළිනොගත්හ. ඔවුන් පොලිසිය ආසන්නයේ දහවල් වනතුරුම රැුඳී සිටියේ කොයි මොහොතක හෝ අමල් පෙරේරා පැමිණේ යැයි සැක කරමිනි.
එහි සිටි මාධ්‍යවේදීන්ට කොස්ගොඩ ලී මෝලේ කැලූම්ගෙන් තවත් ආරංචියක් ලැබුණි. ලී මෝල ළඟ පාරේ අමරසේන මාමාගේ හැචරියේ ඉන්න සුදු කැස්බෑවා ගන්න ගායකයෙක් ඇවිත් ගිහින් තිබෙනවා කියා හෝඩුවාවක් දුන්නේය. කැලූම්ගේ ත‍්‍රිරෝද රියෙන්ම අප කීපදෙනකු ගියේ අමරසේන ප‍්‍රනාන්දු මහතා මුණගැසීමේ අරමුණෙනි. සේවකයන් රැුසක් අතරේ සිටි අමරසේන මහතා අප ආයුබෝවන් කියා පිළිගෙන යන ගමන් කීවේ කැස්බෑවන් ගැන තමා ගීතයක් රචනා කර ඇති බව අප සමග පවසමිනි. සැබෑවටම ඔහු කැස්බෑවන් පමණක් නොව ගීතයට කලාවට ආදරය කරන්නෙකි.
”මා ළඟ ඉන්න මේ සුදු ‘ඇලි’ කැස්බෑවා
තමයි දැනට ඉන්න ලොකුම සුදු කැස්බෑවා
යැයි ටැංකියේ පිහිනමින් සිටි සුදු කැස්බෑවා පෙන්වමින් අප සමග අමරසේන මහතා කථාබහ ආරම්භ කළේය. මේ පළාතේ මම තමයි මුලින්ම මේ වැඬේ පටන් ගත්තේ. එතකොට කවුරුත් පටන්ගන්න තියා හිතලවත් නැහැ.....යි ඔහු කීවේ ආඩම්බරයෙනි.
”1963 අවුරුද්දේ වගේ මගේ මතකය හරි නම් ඒ දවස් වල කැස්බෑවන් ගේ බිත්තරවලින් වැල්ලම පිරිලා. ඒ තරමට කැස්බෑවෝ. මම කැස්බෑ බිත්තරයක් අරගෙන පොඩි කළාම ”උඹ දන්නවද ඔය සතා අවුරුදු 300ක් ජීවත් වන එකෙක්” කියා මට කම්මුල් පාරක් ගැහුවා. ඒ ගහපු පාර මට තවම මතකයි. එතනින් තමයි පොඩි ටැංකියක් ගහල වැඬේ පටන් ගත්තේ. ඔය හොරකම් කළ කැස්බෑවා හිටිය චන්ද්‍රසිරිගේ මධ්‍යස්ථානය මුලින්ම පටන්ගත්තේ කුරුණෑගල දොස්තර මහත්තයෙක්. පස්සේ තමයි චන්ද්‍රසිරි කරන්න ගත්තේ.
අමරසේන මහතාට අයත් සුදු කැස්බෑවාගේ නමද රෝසිය. චන්ද්‍රසිරි ආබෲ මහතාගේ රෝසි හොරකම් කර ගෙන යන විට අමරසේන මහතාගේ රෝසි කැස්බෑවා තවම මෙහි සිටින්නේ අමරසේන ඇතුළු සේවකයන්ගේ ආරක්‍ෂාවේ පිහිටෙනි.
මගෙන් මේ කැස්බෑවා රුපියල් කෝටි 07 ක් වනකම් ඉල්ලූවා. ඔය ගායකයත් තුන්පාරක්ම ඇවිල්ල ගියා. මිනිහා මා ගැන හොඳට දන්නවා. කොහොමද මහත්තයෝ මේ සතා විකුණන්නේ. හරියට මගේ දරුවෙක් විකුණනවා වගේ වැඩක්. මට නම් කවදාවත් ඒක කරන්න බැහැ.
මොන හිතකින් ඒක කරන්නද? ඔය සතා ඉපදුනේ සුනාමියෙන් පස්සේ අවුරුද්දේ වෙසක් පෝය දවසේ. එදා පවුලේ අපි පන්සල් යන්න ලෑස්ති වෙලා එළියට ඇවිත් බලන විට බිත්තර පුපුරලා පැටව් දෙන්න එළියට ඇවිත් එකෙක් මා ලොකු කරල මුහුදට දැම්මා. අනෙකා තමයි ඔය ඉන්නේ. ලංකාවේ ඉන්න ලොකුම සුදු කැස්බෑවා මගේ ළඟයි ඉන්නේ....... මගෙන් කැස්බෑවා ඉල්ලල හරියට තර්ජන. කෝටි 07ක් මිලකට ඔය කැස්බෑවා ගන්න කට්ටිය ආවා ගියා. තර්ජන එල්ල කළා. ලක්‍ෂ 10ක් කප්පම් ඉල්ලූවා. මම ඒ ගැන කොස්ගොඩ පොලිසියටත් පැමිණිලි කළා යැයි අමරසේන මහතා කීවේ කේන්තියෙනි. මම ගෙවල් හතරක් හැදුවා. කීදෙනෙක් මෙතනින් මේ සත්තු නිසා ජීවත් වනවාද? ලංකාවේ බරට සල්ලි ගෙනැත් දුන්නත් මේ සතා දෙන්නේ නැහැ කී අමරසේන මහතා තවත් සිද්ධියක් අප සමග හෙළි කළේය.
![]() |
කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය |
මේ රටේ ප‍්‍රසිද්ධ දේශපාලනඥයකුගේ ගෝලයෙක් ආවා. කැස්බෑවා අරගෙන යන්න. මට තර්ජනය කළාම මම පොල්ලක් අරගෙන ගාලූපාරට වනකම් එළෙව්වා. මේ සුදු කැස්බෑවන් හත්දෙනකු හොයන කට්ටියක් ඉන්නවා. ඒ හොයන්නේ මේ කැස්බෑවන් හත් දෙනකුගේ ලේ බිව්වොත් හුඟ කාලයක් ජීවත්වන්න පුළුවන් කියන මතයක් තිබෙනවා. ඔය පිටරටක ගෙනියන්න හදන්නේ රටක සුපිරි කෝටිපතියකුට දෙන්නයි. අමරසේන කීවේ ඔහුට ලැබී ඇති තොරතුරක් සිහිපත් කරමිනි.
සුදු වර්ගයේ විවිධ සතුන් ඇති උද්‍යනයකට මේ සුදු කැස්බෑවන් ගෙනයාමට සොයන බවට මතයකි. එසේම ජාන හොරකමකට ගෙනියන බවටද තවත් මතයකි. කෙසේ වෙතත් කොස්ගොඩ හැචරි දෙකක සිටි සුදු කැස්බෑවා ගෙන යාමට විවිධ තරාතිරමේ අය පැමිණ ගොස් තිබේ. මේ වන විට එක් කැස්බෑවකු පැහැරගෙන ගොසිනි. මුහුදින් ඇවිත් ගෙනගිය බවට ද කතා පැතිරේ. මෙහි සත්‍ය හෙළිදරව්වීමට වැඩි කලක් ගත නොවනු ඇත. මේ සටහන අවසන් කරන්නට පෙර චන්ද්‍රසිරි ආබෲ මා සමග කියූ වදනක් සිහිපත් වේ. ”එක් අයෙක් මගෙන් කැස්බෑ ඉල්ලූවාම මම කිව්ව ඔයාගේ දරුවා මට දෙන්න පුළුවන්ද” කියලා. දරුවකු වගේ හැදු රෝසි නැමැති සුදු කැස්බෑවියට සිදුවූයේ කුමක්ද යන්න අභිරහසක් නොවනු ඇත.