තෙල් සමාගමේ හොරුන් දඬුකඳේ ගහන්න ඕනෑ


සාමාන්‍යයෙන් අමාත්‍යවරයකු විසින් තම අමාත්‍යාංශයේ සිදුවන දූෂිත හෝ වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් හෙළිදරව් කරනු ලබන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් වන හෙළිදරව්වක් පසුගියදා කරනු ලැබ තිබුණේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසිනි.

එම තොරතුරුවලට අනුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් මකා දමා හෝ වෙනස් කර හෝ තිබේ. 2010 සිට ගබඩා කර තිබූ එම දත්ත සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් මකා දමා හෝ වෙනස් කර හෝ ඇත්තේ 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවසස්ථාවේ දී බවත් අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

මෙම දත්ත මකා දැමීම හෝ වෙනස් කිරීම හෝ පිළිබඳ තොරතුරු හෙළි කරගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයකිනි. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් කේ.පී.එම්.ජී. නම් ආයතනය සිදු කළ වෝහාරික විගණනයේ මූලික කරුණු වලින් එම තොරතුරු අනාවරණය වී තිබේ. එකී විගණනයේ ඊළඟ පියවර වලදී අදාළ තොරතුරුවලට තව මොනතරම් දේ එකතු වනු ඇතිදැයි කල් තබා අනාවැකි පළ කළ නොහැක. එහෙත් ඉන්ධන ගබඩා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ තොරතුරු දත්ත මකා දැමීම හෝ වෙනස් කිරීම හෝ යහපත් චේතනාවෙන් සිදු කළ කටයුත්තක් නම් විය නොහැකි බව නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. මේ සිදුවීම මත බරපතළ වංචාවක සියලු ලක්ෂණ පෙන්වා තිබේ. ඒවා වෙනුවෙන් විමර්ශනය කර එයට වගකිව  යුතු පුද්ගලයන්ගෙන් නිදහසට කරුණු විමසීම අප්‍රමාදව සිදුකළ යුතුය. ඉන්පසුව වැරදිකරුවන් වන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම ද අවශ්‍යය.

බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය මෙම විගණනය කේ.පී.එම්.ජී. ආයතනය සමග එක්ව සිදු කළ බවද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය. එකී පැමිණිල්ලෙන් පසුව 2023 වර්ෂය වන විට එම දත්ත මකා දැමීම හෝ වෙනස් කිරීම හෝ අඩුවී තිබේ. මේ මකා දැමීම විශාල වංචාවකට මාර්ගය කපාදීමක් බව පැහැදිලිව පෙනී යන්නේ 2022 දී ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස වාර්තා වූ රුපියල් කෝටි 2800 ක මුදල 2023 වසර වනවිට රුපියල් කෝටි 400 ක් දක්වා අඩුවී තිබීමෙනි. පැහැදිලිවම එම ආයතනයේ පිරිසක් සැලසුම්සහගතව මේ දත්ත මකා දැමීම සහ වෙනස් කර ඇති බවත් ඔවුන් ඒ හරහා කෝටි ගණනින් වංචාකර ඇති බවත් බැලූ බැල්මටම පෙනී යයි. මේ වංචනිකයන් පිරිස පැනයාමට පෙර අල්ලා ගැනීම අමාත්‍යවරයා ප්‍රමුඛ සියලු බලධාරීන්ගේ වගකීමකි.

අදාළ වෝහාරික විගණනයේ සම්පූර්ණ වාර්තාව ලැබීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමටත් අවැසි ඉදිරි නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. ඒ අනුවම කටයුතු කර වංචනික පුද්ගලයන් අල්ලා ගෙන ඔවුන්ට නීතියෙන් දඬුවම් පැමිණවීමට අමාත්‍යවරයා අප්‍රමාදව කටයුතු යොදනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එහෙත් මෙවැනි වංචනික ක්‍රියා හෙළිවෙමින් පවතින විට කිසියම් අදෘශ්‍යමාන බලවේග ඒවායේ ඉදිරි කටයුතු වලට බාධා පමුණුවන බව ප්‍රසිද්ධ රහසකි. වැරදිකරුවන්ගේ දෑතට විලංගු වැටෙනවා වෙනුවට ඔවුන් පිළිබඳ තොරතුරු සොයන විමර්ශන කටයුතුවලට විලංගු වැටෙනු අප දැක තිබේ. තෙල් සමාගමේ දත්ත මැකීමේ සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතුවලට ඒ ඉරණම අත් නොවනු ඇතැයි අපගේ විශ්වාසයයි.

මීට පෙරද මෙවැනිම දත්ත මැකීමේ සිද්ධියක්  වාර්තා වූයේ 2021 වසරේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගබඩා කර තිබූ ගිගාබයිට්ස් 2000 කට අධික දත්ත ප්‍රමාණයක් මකා දැමීමයි. එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයකු රිමාන්ඩ් ගත කරනු ලැබූ නමුත් විමර්ශන එයින් ඉදිරියට නොගිය බවත් මෙහිදී සිහිපත් කළ යුතුය.

(***)