ගව පාලනයේදී ගවයන්ට වැළඳෙන අතුරු ආබාධ සහ රෝග බොහොමයකට අත් බෙහෙත් වලින් ප්‍රතිකාර කරන වෙද මහතකුට පසුගිය දිනෙක නොසිතූ පරිදි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.
රජරට පළාතේ එක්තරා ගමක ජීවත් වන මෙම වෙද මහතා එම ප්‍රදේශය පුරාම ජනප්‍රිය වී සිටියේ ‘‘ගොඩ වෙද මහත්තයා’’ යනුවෙනි. හෙතෙම මැදවිය පසු කරමින් සිටි තැනැත්තෙකි.
දිනක් එම ගමේ ඉස්කෝලේ පිට්ටනිය අසල එළදෙනෙකු විසින් පැටියෙකු ප්‍රසූත කර සිටි අතර එම පැටියා සිට ගැනීමට නොහැකිව වැටී සිටින්නේ කුමක් හෝ හඳුනා නොගත් රෝගයක් නිසා යැයි සැක සිතූ එම පාසලේ ප්‍රින්සිපල් නෝනා මෙම ගොඩ වෙද මහත්තයා එතැනට කැඳවා තිබුණි.
ඉතා හුරුබුහුටි මෙම වහුපැටියා බැලීමට එදින තරුණ ගුරුවරියෝ දෙතුන් දෙනෙක් ද එතැනට ආවෝය.
එතැනට පැමිණි වෙද මහතා වහුපැටියා පරීක්ෂා කළේය. ඔහු සිය ඔලුව වනමින් කිසියම් නිගමනයකට එළැඹියේය.
‘‘ලොකු නෝනා, මේ වහුපැටියා ඉස්කෝල මිදුලේ අඹ ගහ යටට අරගෙන යමු’’යනුවෙන් පවසා ඇඳ සිටි සරම කැසපොට ගසා පැටියා උඩට ඔසවා ගත්තේය. එකෙනෙහිම තරුණ ගුරුවරියෝ දෑතින් මුහුණු වසාගෙන ආපිට හැරී පස්ස නොබලාම ලොකු මිස්ගෙ ගුරු නිවාසයට පැන ගත්හ.
‘‘හා හා නෝනලා බයවෙන්න එපා මේ පොඩි පැටියා අනින්නේ නෑ’’යනුවෙන් ගොඩ වෙද මහතා පැවසීය.
එවිටම ප්‍රින්සිපල් නෝනා කලබල වී
‘‘නෑ නෑ ගොඩ වෙද මහත්තයෝ ඕක අනින්නේ නෑ තමයි. ඔය පැටියාව බිම තියලා උඹේ සරම හරිගස්සා ගනිං’’ යයි පවසනවාත් සමගම වෙද මහතා වහුපැටියාගේ එක කකුලක පැටලී උඩට එසවී තිබුණු තම සරම දැක වසුපැටියාද බිම දමා තමා පැමිණි බයිසිකලයත් නොගෙන එතැනින් අතුරුදන් විය.
මේ සිද්ධියෙන් පස්සේ ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ගොඩ වෙද මහත්තයා දකින හැම වාරයකම ජනප්‍රිය ගීතයක අවසාන පදය හඬ නගා ගායනා කරනවලු.‘‘මොකක් හරි හේතුවක් හින්දා අමුඩෙ අමතක වෙලා තිබියන්’’ යන පදය ඇසෙන විට ගොඩ වෙද මහත්තයාට යකා ආවේස වෙනවාලු.
කැබැතිගොල්ලෑව-හේමන්ත රණසූරිය