‘අදයි අදින්නේ’ හඬට ‘අදින්නා දාන’ කාරයා හොල්මන්වෙලා


(පස්ගොඩ තිලක් එච්. ගමගේ) 
හෙතෙම මෝඩ පහේ ගැමියෙකි. ගොවිතැන් වැඩ හා එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූයේය. කලකට පසු ගෙවත්තේ මුරුංගා ගසේ පළදාව සරුවිය. 


මුරුංගා කරල් කඩා එය මිටියක් බැඳ සකසා ගත්තේ  පසුදා රැයින්ම සතිපොළට යායුතු බැවිනි. පොළට එන වෙළෙන්දෝ  උදේ රැයින්ම බඩු මිළදී ගැනීමසිදු කරති. 


එළවළු පළතුරු කෙසෙල් කැන් ගොරක කරුංකා, කරාබුනැටි, ගම්මිරිස් යනාදිය මිලදී ගැනීමට දුර පළාත්වල සිට  වෙළෙන්දෝ රැසක් මෙම පොළට සතිපතා පැමිණෙති. 


මුරුංගා මිටිය පොළට ගෙන ගොස් විකුණනතෙක් ඔහුට  ඉස් පාසුවක් නැත. දුෂ්කර කඳු ප්‍රදේශයක්වූ මෙහිසිට කිලෝමීටර් 2 1/2ක් පමණ පයින්ම පොළට යා යුතුය. රාත්‍රි ආහාරය ගත් ඔහුට නින්දක් නොවීය. බැරි වෙලාවත් නින්ද යාවියැයි බිය නිසා ඔහු බොහෝ වේලාවක් නිදි වර්ජිතව ගත කළේය. වේලාව ගත වන්නේ හෙමින් යැයි ඔහුට සිතේ. 


රාත්‍රි 12 පහු වන්නට ඇත. ඔහු පන්දමක් රැගෙන බරට බරේ මුරුංගා මිටියද කර තබාගෙන පිටත් වූයේය. 


පොළට යනවිට එහි පැවතියේ පාළු බවකි. ෂහ් මං ආව වෙලාව වැඩියි. ඔහුට ඉබේම කියැවිණි. 


පොළ අසල වසා තිබූ කඩයක ස්තෝප්පුවට ගොඩවී මුරුංගා මිටිය එහි තැබූ ඔහු විඩා හැරියේය. කිසිවකු එහි බිම නිදා සිටිනු පෙනුණි. මුරුංගා මිටිය අසලින් ඔහුද බිම දිගා වුනේ විඩාපත් බව නිසාය. 


රැය පුරා නින්දක් නොමැතිව සිටි මොහුට යාන්තම් නින්ද යාගෙන ආවා පමණි. 


අදයි අදින්නේ. අදයි අදින්නේ යැයි ශබ්දයෙන් අන්ද මන්ද වූ ඔහු තම මුරුංගා මිටියට වැඬේ දෙන්න හදනවා යැයි සිතා කව්ද යකෝ මගේ මුරුංගා අදින්නේ යැයි කෑ කැසීය. 


ඔහුගේ කෑ ගැසීමට එහි නිදා සිටි පුද්ගලයාද අවදි වුනේය. 


ඔහු දෙස කෝපයෙන් බැලූ ගොවියා පුළුවන්නම් එක මුරුංග කරලක් ඇදපන් බලන්න. මං උඹ ඉතුරු කරන්නෙ නෑ යි කීය. 


නිදාසිටි පුද්ගලයා බිරාන්තව ඔහු දෙස බලා ඇයි අයියා මොකක්ද ප්‍රශ්නෙ?


ප්‍රශ්නෙ. තමුසෙ මගේ මුරුංගා ටික අදිනවා කිව්වේ. ඒකයි ප්‍රශ්නෙ. 


පිස්සුද අයියේ ඔයාගේ කෑගැහිල්ලටමයි මට ඇහැරුණේ. ඔයාට වැරදීමක්. 


එහෙනම් තමුසෙ කිව්වේ අදයි අදින්නේ කියලා. 


වට පිට බැලූ ඔහුට කාරණය පැහැදිලි විය. තමා හීනෙන් දොඩවන්නට ඇතැයි සිතුණි. 


අසල තිබූ ලොතරැයි ටිකට්පත් සහිත බෝඞ් එක ඔසවා පෙන්වා අයියේ මම ලොතරැයි විකුණන්නෙක් මම නින්දෙන් දොඩවන්න ඇතියි පැවසීය. 


සිදුවීම වටහා ගත් ගැමියා මුරුංගා මිටිය යළි කරට ගත්තේ ඇතිවූ ලැජ්ජාව නිසාය.