ෆොටෝ මාරුවෙන් පුතා අමාරුවේ වැටිලා


(හෝමාගම ප්‍රියන්ත ජයලත්)


ඔහු මවට අසීමිත ලෙස ආදරය කළ පුතෙකි. මව රෝගී වූ පසු එම මව රැක බලා ගැනීමට පුතු ගත් වෙහෙස සියල්ලන්ගේ පැසසුමට ලක්විය. පුතු එසේ වෙහෙසුණේ අවංකවමය.
පුතුගේ උත්සාහය අපතේ යවමින් මව මිය ගියාය. මවගේ අවසන් කටයුතු ඉතා ගෞරවණීය ලෙස පුතු සිදු කළේය. අවමගුල් උත්සවයට පැමිණි නෑදෑ හිතවත්හු සියල්ලෝම පුතුගේ උත්තම ගුණාංග ඉහළින් වර්ණනා කළහ. අන්‍යයන්ගේ පැසසුම් මවගේ වියෝ දුක දරා ගැනීමට පුතුට ශක්තියක් විය.
මවගේ තුන් මාසයේ දානයට පෙර මවගේ ඡායාරූපයක් විශාල කර සාලයේ තැන්පත් කළ යුතු යැයි පුතු කල්පනා කළේය. ඒ අනුව ඔහු නගරයේ ඡායාරූප ශාලාවකට ගියේය. කවුන්ටරයේ සේවිකාවකි.
‘‘මට ෆොටෝ එකක් එල්ලාජ් කරගන්න ඕනෑ’’
ඔහු සේවිකාවට කීවේය. එහිදී සේවිකාව ඡායාරූප ප්‍රතිසංස්කරණ සේවිකාව වෙත ඔහු යොමු කළාය.
‘‘මට ෆොටෝ එකක් එන්ලාජ් කරගන්න ඕනෑ’’ ඔහු කීවේ එපමණකි. ඡායාරූපය කාගේද කින්ද මන්ද යන්න ඔහු විශේෂයෙන් නොකීවේය. සේවිකාව ඇසූ ප්‍රශ්නවලට පමණක් ඔහු පිළිතුරු දුන්නේය.
‘‘මට ඡායාරූපයට මල් මාලයක් එහෙම දාලා දෙන්න’’ ඔහු ඉල්ලීමක් කළේය.
‘‘ඒක සුළු දෙයක්” සේවිකාව කීවාය. සිය ඡායාරූපයේ ප්‍රමාණය ආදි සියල්ල විමසා සේවිකාව බිල ලීවාය. ඔහු මුදල් ගෙවා දැමුවේය.
‘‘කෝ ෆොටෝ එක දුන්නේ නැහැනේ’’ සේවිකාව අමතක වූ යමක් මතක් කරමින් කීවාය.
ඔහු හනිකට පසුම්බිය ගෙන ඡායාරූපයක් ඇය අත තැබුවාය. එසැණින්ම ඔහුගේ ජංගම දුරකතනය නාද වූ හෙයින් ‘‘මං අනිද්දට එන්නම්’’ කියමින් දුරකතනයට පිළිතුරු බඳිමින් එතැනින් ඉවත්ව පාරට ආවේය.
නියමිත දිනයේදී ඡායාරූපය ගැනීමට ඔහු ඡායාරූප ශාලාවට පැමිණියේය. සේවිකාව ඇතුළට ගොස් විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් රැගෙන විත් ඔහු අත තැබුවේය.
‘‘දෙයියෝ සාක්කි’’ ඔහුට කියැවුණේ ඉබේටමය.
එදා ඔහු සේවිකාව අතට පත්කර තිබුණේ ඔහුගේම ඡායාරූපයකි. සේවිකාවට එහි විශේෂයක් නොවූ හෙයින් එම ඡායාරූපය විශාල කර ඉල්ලූ පරිදිම මල් මාලයක්ද දමා රාමු කර සකස්කර තිබිණි.
‘‘මදැයි වෙච්ච දේ’’ කියමින් පුතා ගෙදර ගියේය. ඡායාරූපය රැගෙන ගොස් අල්මාරියක සඟවා තැබීමටද ඔහු අමතක නොකළේය.