ෆාමසියේදී පන්දාහේ කොළය මාරු කරන්න කුඞ්ඩෙකුට දීලා


විශ‍්‍රාමික ගුරු යුවළකි. සිරිත් පරිදි විශ‍්‍රාම වැටුප් ගැනීමට දෙදෙනාම නගරයේ බැංකුව වෙත ගියහ. ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩිවී තිබිණ. දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අරගලයේ ප‍්‍රතිඵල ලැබී තිබීම ගැන ඔවුහු සතුටට පත්වූහ. ගුරු මාතාව දීර්ඝ කාලීනව බෙහෙත් පාවිච්චි කරන නිසා සෑම මසකට වරක්ම විශ‍්‍රාම වැටුප් ගැනීමට පැමිණිවිට එම බෙහෙත් රැුගෙන යාම ද සිරිතකි. මෙදින ද එසේ බෙහෙත් ටික ගැනීමට දෙදෙනාම ෆාමසියකට ගියහ. 

එම බෙහෙත් ගැනීමට වට්ටෝරුවක් අවශ්‍ය නොවූයේ ඒවා කිසියම් රෝගයක් සඳහා දීර්ඝ කාලීනව පාවිච්චි කරන ඖෂධයක් බව ඖෂධශාලා හිමියා දන්නා නිසාය. බෙහෙත්වල මිල රුපියල් දෙසීයකට අඩු මුදලකි. ඇය බෙහෙත් ටික අතට ගෙන රුපියල් පන් දහසේ කොළයක් දුන්නාය. එහෙත් ඖෂධශාලා හිමියා කීවේ එය මාරු කිරීමට නොමැති බවය.

ඒ සමගම එතැනට පැමිණි පුද්ගලයකු දෙන්න නෝනා අල්ලපු කඩෙන් මාරු කරල ගෙනැත් දෙන්නම් කියා ඉල්ලූවේය.

කිසිම සැකයක් නොසිතූ ඇය රුපියල් පන්දහස ඔහුට දුන්නාය. ඔහු එනතුරු දෙදෙනා බොහෝ වේලාවක් බලා සිටියත් ඔහු ආවේ නැත. ඔවුනට කිසියම් සැකයක් ඇති විය. ඖෂධශාලා හිමියාට ද කර කියා ගැනීමට දෙයක් නැත. මේ අතර එතැනට පැමිණි පුද්ගලයකු එම පුද්ගලයාගේ හැඩ හුරුකම් අසා පැවසුවේ ඔහු කුඩුකාරයකු වන අතර මුදල් ගැන ආසාව අත්හරින ලෙසය. කිසිවක් කර කියා ගත නොහැකි වූ ගුරු මාතාව සැමියාගේ මුහුණ බැලූවාය.

ඔහු තමාගේ සාක්කුවේ තිබූ මාරු සල්ලි එකතු කරන්නට විය. අවසානයේ දෙදෙනා ඖෂධශාලාවෙන් පිටවූයේ දීර්ඝ කාලයක් තිස්සේ විශ‍්‍රාම වැටුප් විෂමතාව ඉවත්කරන ලෙස ඉල්ලා සටන් කොට ගත් වැටුපෙන් ලොකු කොටසක් කුඞ්ඩෙකුට පූජා කිරීමෙනි.