ෆ්‍රී ෂූට් වරද්දාගෙන මනාලියගෙන් ගුටිකාලා


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මංගල උළෙලට පෙර දිනයක යුවළකගේ ඡායාරූප ගැනීමේ (ෆ්‍රී ෂූට්) යෙදී සිටි ජායාරූප ශිල්පීන් කණ්ඩායමක සාමාජිකයෙකු මනාලියගේ සැඟවුණු තැන් හොර රහසේ වීඩියෝ කරන්නට ගොස් මනාලියගේ ගුටි බැට ප්‍රහාරයකට ගොදුරුව පොලිස් කූඩුවේ ද ලැගීමට සිදුවූ පුවතක් සීදුවට නුදුරු පෙදෙසකින් පසුගියදා වාර්තා විය.


විවාහය ලියාපදිංචි කළ තරුණ යුවළකි. විවාහයට දින නියම කර ඇත. නවතම යුගයේ හැඩගැස්ම අනුව ඊට පෙර දෙදෙනාගේ ඡායාරූප ගැනීමේ දිනය යෙදිණි. ඒ සඳහා කණ්ඩායමේ සාමාජිකයන් සිවු දෙනෙක් පැමිණ විවිධ ඉරියව්වලින් දෙදෙනාගේ ඡායාරූප ගත්හ. 


කණ්ඩායමේ ප්‍රධාන ශිල්පියා මනාලයාට ඉදිරිය බලා සිටින ලෙසත් මනාලිය පිටුපසින් පැමිණ ඔහු හා ළංවෙන ලෙසටත් උපදෙස් දුනි. එසේ රැඳී සිටින අතර එක්වරම පිටුපසින් මනාලියගේ පරුෂ වදන් සමග පහරදීමක හඬ ඇසිනි. මනාලයා පිටුපස බලද්දී මනාලිය ඡායාරූප ශීල්පී කණ්ඩායමේ සාමාජිකයකු පෙරළාගෙන පහර දෙනු දුටුවේය.


මේ මිනිහා හොරෙන් මගේ ....... වීඩියෝ කරනවා මම දැක්කා. මනාලිය මනාලයාට පැවසුවේ හඬමිනි. මනාලයා එකී පුද්ගලයා අත වූ ජංගම දුරකතනය උදුරා ගත්තත් ඒ වනවිටත් එහි දර්ශන මකා දමන්නට ඔහු සමත්වූයේය.


මනාලයාද පරාජය බාර ගැනීමට සූදානම් නොවීය. මැකුණු දර්ශන ආපසු ලබා ගන්නා ක්‍රම විධි දන්නා මිතුරකු ගෙන්වාගෙන දුරකතනය පිරික්සද්දී ඔහු තම පෙම්වතියගේ මෙන්ම ඊට පෙර අවස්ථා ගණනාවකදී මනාලියන්ගේ අනවශ්‍ය තැන් වීඩියෝ කර ඇති දර්ශන දැකීමට ලැබිණි.


මිතුරන් හා එක්ව අතින් පයින් හොඳට සංග්‍රහ කළ මනාලයා මේ පුද්ගලයා පොලිසියට බාර දීමටද පියවර ගනු ලැබීය. මේ හේතුවෙන් ඡායාරූප ගැනීමේ අවස්ථාව මග හැරී ගියත් සමාජයට වින කරන පුද්ගලයකු හඳුනා ගැනීමට ලැබීම සම්බන්ධයෙන් යුවළ මහත් සතුටට පත්ව සිටියහ.


නීතියේ ප්‍රතිපාදනවලට අමතරව දිනයේ තමන්ට සිදුවූ පාඩුව අය කර ගන්නටද මනාලයා දැන් කටයුතු කරමින් සිටී.