ළිඳ ළඟ බැල්ම දාලා උණු වතුරෙන් නාලා


(කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත)
කළුවරේ ළිඳ ළඟ හඹුරුගාලේ සිට බැල්ම දමමින් සිටියදී අනපේක්ෂිතව එල්ල වූ උණුවතුර ප‍්‍රහාරයෙන් බැල්ම හෙළුවේ කවුද යන්න හෙළිවූ පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් වාර්තාවේ.


ඇය නගරයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවිකාවකි. දවසේ වැඩමුරය හමාර වී ඇය නිවසට පැමිණෙනුයේ රාත‍්‍රී 7ත් 8ත් අතර කාල පරාසයක් තුළය. වැඩ අහවර වී කළුවරේම පැමිණෙන ඇය මුළුතැන්ගෙය ආසන්නයේ ඇති ළිඳ ළඟට යනුයේ එක්කෝ දිය නාගන්නය. නැතහොත් ඇඟපත සෝදාගන්නටය. නිවසේ ළිඳ පැත්තට වන්නට විදුලි බුබුළුක් තිබුණ ද ඇඟපත සෝදා ගැනීමට ළිඳ ළඟට ගිය විට එම විදුලි බුබුල දල්වන්නේ නැත.


එදා ද ඇය වැඩ ඇරී නිවසට පැමිණියේ කළුවරේමය. සුපුරුදු පරිදි එදාත් ඇය මුළුතැන්ගෙයි ආසන්නයේ තිබූ ළිඳට කළුවරේම ගියේ ඇඟ සෝදාගන්නටය. ළිඳේ වතුර බැස ගියේ ළිඳ ආසන්නයේ ඉතා සරුවට වැවී තිබූ හඹුරු ගාලකටය.  ඕනෑම කෙනකුට පිටතට නොපෙනෙන සේ එම හඹුරුගාලේ රාත‍්‍රී කාලයට පමණක් නොව දිවා කාලයට ද හැංගී සිටිය හැකිය. ඒ තරමටම හඹුරු ගස් වැඞී තිබුණි.


එදා රාත‍්‍රියේ ඇයගේ මව රාත‍්‍රී කෑම පිළියෙළ කරමින් සිටියාය. ඇය උණුවතුර ලොකු මැටි කෝප්පයට දමා මුළුතැන්ගෙයි ආසන්නයේ තිබූ හඹුරුගාලට විසි කළාය. ඒ සමගම බුදුඅම්මෝ මං ඉවරයි කියමින් මරලතෝනි දෙමින් හඹුරුගාල ද පොඩිකර ගෙන කෙනෙක් දිවගියේය.


දිවගිය කෙනා කවුද යන්න විදුලි බුබුළු දමා සෙව්ව ද එදා රාත‍්‍රී සොයාගැනීමට නොහැකි වුවත් උණුවතුර වැටී සමේ පිළිස්සුම් තුවාල ඇතිවූ ගමේ කෙනා කවුද යන්න ඊට පසුදින ගමේ අයට සොයා ගැනීමට හැකිවිය. ඒ සමගම මෙතෙක් කලක් රාත‍්‍රී කාලයේ ගමේ ළිං ළඟ බැල්ම දැමූ කෙනා කවුද යන්න හෙළිවිය.