හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
එක් දරුවකුගේ නිකටට තුවාල සිදුවන ලෙස සහ තවත් සිසුන් දහඅට දෙනකුගේ රැවුල් එකම රේසරයකින් කපා රැවුල නොකපා පාසලට පැමිණි සිසුන් පිරිසකට අපූරු දඬුවමක් ලබා දුන් ප්‍රසිද්ධ ජාතික පාසලක් පිළිබඳව දකුණු පළාතේ නගරයකින් වාර්තාවේ.
නගරයේ දැඩි ප්‍රසිද්ධියක් උසුලන මෙම පාසලේ දොළහ වසරෙහි ඉගෙනුම ලබන සිසුන් දහඅට දෙනකු රැවුල් කපා නොමැති බවට විනය භාර ගුරුවරයාට නිරීක්ෂණය වී ඇත.
ඔවුන් සියලු දෙනා කැඳවා එක් රේසරයක් භාවිතා කරමින් සියලුම දෙනාගේ රැවුල් කපා ඇති බව පැවසේ.
එලෙස සිදු කිරීමේදී කුඩා කාලයේදී නිකටේ සැත්කමක් සිදුකළ එක් සිසුවකුගේ සැත්කම සිදුකර ඇති ස්ථානයේ නිකට කැපී තුවාල වී ඇති අතර මෙලෙස තුවාල වී ඇත්තේ සැත්කමක සිදුකළ එහි කැළලට බව ළමයා වෛද්‍යවරයාට පෙන්නූ පසු අනාවරණය වී තිබේ.
එම ළමයින් දහඅට දෙනාම ඒඩ්ස් නිවාරණ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කරන ලෙස ළමයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා උපදෙස් දී ඇති අතර ඔවුන් දහඅට දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු පිරිසක් පාසලට යාමට නියමිත බව පැවසේ.
ළමයින්ට දඬුවමක් ලබාදීම පිළිබඳව මව්පියන් අකැමැත්තක් සහ විරෝධයක් පළ නොකරන අතර රැවුල් සහ කොණ්ඩා කැපීමේදී එක් පුද්ගලයකුට එක් තලයක් පමණක් භාවිත කරන ලෙස පනවා ඇති සෞඛ්‍ය නීතිය උල්ලංඝනය පිළිබඳව මව්පියන් පොලිසියට පැමිණිලි කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.