හක්මණ විශේෂ - දෙන.ම යසන්; ආරියසේන
පන්තියේ දරුවන්ගේ ඉල්ලීමට ඔවුන් ගෙනා කෑම වලින් කුඩා ප්‍රමාණයක් පන්තිභාර ගුරුතුමිය ආහාරයට ගැනීමට උරණ වූ මව්පියන් කිහිප දෙනකු නිසා පාසලක්ම අමාරුවේ වැටීමට යාමේ සිද්ධියක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
දුෂ්කර ප්‍රදේශයක සේවය කළ දක්ෂ ගුරුවරියක් ස්ථාන මාරුවීමක් ලැබ සිය ගම් ප්‍රදේශයට ආසන්න පාසලකට පැමිණියාය.
කුඩා දරුවන්ට ඉගැන්වීමට සහජ හැකියාවක් දක්වන ඇයට පන්තියක භාරකාරත්වය ද නව පාසලේ දි හිමි විය. පන්තියේ දරුවන්ට අම්මා කෙනකු වූ ගුරුතුමියට දරුවෝද අසීමිතව ආදරය කළහ.
ප්‍රාථමික පන්තිවල දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම දැඩි සේ විවේචනය කළ ගුරුවරිය පාසල වැසීමෙන් පසුවත් අමතර කාලයක් රැඳී සිටිමන් ඉගැන්වීම් කළාය.
පන්තියේ දරුවන් සමග එක්ව උදෑසන ආහාරය ගන්නා විට තම කෑම පෙට්ටියේ ඇති කෑම වලින් කොටසක් ගුරුවරියට දීමට ළමයින් සෑම දිනකම තරගයක යෙදීම සුලබ දර්ශනයක් විය. මෙම කරුණ ගැටලු සහගත විය හැකි නිසා ගුරුවරිය ඒ සඳහා උපක්‍රමයක් පාවිච්චි කළාය. ළමයින් කෑම ගන්නා අවස්ථාවේ දී ඔවුන් අසලට ගොස් පෙට්ටියේ ඇති කෑම වලින් ඉතාම කුඩා ප්‍රමාණයක් ඇය කෑවාය.
සතියේ දින පහ තුළ කණ්ඩායම් පහකට බෙදා මෙම කාර්ය සිදු වූ නිසා ළමයින් ද කිසිදු කලබලයකින් තොරව පිළිවෙළට ආහාර ගැනීම පුරුදු විය.
ටීචර් අපේ කෑම එකෙනුත් කනවා යැයි මහත් ආඩම්බරයෙන් ළමයින් කිහිප දෙනකු නිවෙසට ගොස් පැවැසුවත් සමහර මව්පියෝ එයට උරණ වූහ. කිසිවක් විපරම් නොකළ ඔවුහු ගැටලු විදුහල්පතිවරයාට පැමිණිලි කළ අතර ගුරුවරිය පන්තියෙන් ඉවත් කර සංවර්ධන නිලධාරිනියකට ප්‍රාථමික පන්තිය බාර දීමට විදුහල්පතිවරයා කටයුතු කළේය.
දින කිහිපයක් ගත වූ පසු ගුරුවරියක වන මවක සිය දියණියගේ පොතක් බැලු අතර ඇයට දෙවියන් සිහිවිය. ළමයාගේ පොතේ ගුරුවරියක විසින් ලියා තිබූ වැකියේ නණ, ලළ, සහ උක්ත ආඛ්‍යාත දෙකම වැරදිය. සිය දියණියගේ පන්තියේ සිටින තවත් ළමයින් කිහිප දෙනකුගේ මව්පියන්ට කතා කළ එම මව ඒ පිළිබඳව විමසුවාය. තම දරුවන්ගේ පොත් පරීක්ෂා කළ එම මව්පියෝ ද සිද්ධියට මවිතය පළ කළහ.
ගැටලුව පැමිණිලි කරමින් ප්‍රශ්නයේ බරපතළකම දෙමව්පියෝ විදුහල්පතිවරයාට පැහැදිළි කළහ. ළමයි කිහිප දෙනකුගේ පොත් පරීක්ෂා කළ විදුහල්පතිවරයාගේ දෙලොවම රත්විය.
පන්තිය භාරව පෙර සිටි ගුරුවරිය වරදක් සිදුකර නොමැති බව විදුහල්පතිවරයා හමුවීමට පැමිණි මව්පියෝ පැහැදිලි කළහ.
එම ගුරුවරියගේ කාර්යක්ෂමභාවය නොරිස්සූ පාසලේ වෙනත් ගුරුවරුන් පිරිසක් සහ මව්පියන් සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵල බව පසුව සියල්ලෝම තේරුම් ගත්හ.
පන්ති රැස්වීමක් සහ ගුරුවරුන්ගේ රැස්වීමක් වෙන වෙනම කඩිනමින් කැඳවා විදුහල්පතිවරයා මව්පියන්ට සහ ගුරුවරුන්ට ලුණු ඇඹුල් සහිත දේශනාවක් පැවැත්විය. ආහාර ගැනීම ගැටලුවක් ලෙස මවා පෑම සිදුකළ මව්වරු කිහිපදෙනා සෙසු අයගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර සංවර්ධන නිලධාරීනියට වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ද ලැබී ඇති බව පැවසේ.