හෝටලේට රාජකීය බිලක් තියා ජෝඩුවක් අමුතුම පිම්මක් පැනලා


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
සුන්දර නදියක් පාදක කොට ගනිමින් තිබූ දෙස් විදෙස් සංචාර නිවාඩු නිකේතනයක දිනක් නතර වී බඩ කට පුරා කා බී කවුරුත් නොසිතන ආකාරයේ උපායක් ප්‍රයෝජනයට ගනිමින් රුපියල් දහස් ගණනක බිලට පොල්ල තියා මාරු වී ගිය යුවළක් පිළිබඳව ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


කුලී ත්‍රිරෝද රියකින් පැමිණි යුවළකි. මුහුණු ආවරණ ද පැළඳ සිටියහ. දිනක් සිය යුවළට නවාතැන් දෙන ලෙස මේ නිවාඩු නිකේතනයෙන් ඉල්ලා සිටියහ. හැඳුනුම්පතක් පමණක් ඇපයට ගනිමින් ඔවුනට ඒ අවස්ථාව උදා විය.


කෑම වේල් සියල්ලම නවාතැන් ගත් කාමරයටම ලැබිණ. ඒ, ඔවුනගේ ඉල්ලීම අනුවය. මේ ස්ථානයේ සේවකයන්ට ඔවුන් දෙදෙනා මුහුණ නුදුන් තරම්ය. එහෙයින් මේ යුවළ අනියම් යුවළක් යයි සේවකයෝ සිතූහ.


යුවළ වැඩිමනත්ම කාලය ගත කළේ ගං ඉවුරේය. ඒ ආසන්නයේ මසුන් මැරීමට පැමිණි අයෙක් සමග කතාබහ කිරීමට ද ඔවුනට අවස්ථාව සැලසුණේය. ඊළඟ දවසේ ඔරුවෙන් නගරයට තමන් ඇරලන ලෙස ද එම ධීවරයාගෙන් යුවළ ඉල්ලා සිටියහ. ඒ සන්තෝසම් මුදලක් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.


තමන් නගරයට යන්නේ අවශ්‍ය බඩු වගයක් ගැනීමට යයි කියමින් යුවළ ඊළඟ දිනයේදී ධීවරයාගේ ඔරුවෙන් නගරයට ගියෝය. ඒ තමන් විනාඩි තිහකින් ආපසු ඔරුවෙන් යාමට පැමිණෙන බව පවසමිනි. ඒ ආපසු ගමනේදී සන්තෝසම් මුදල ලබාදෙන බව ද කියමිනි. දෙදෙනාගේම කරේ පොඩි ගමන් මලු දෙකක් එල්ලී තිබුණත් ධීවරයා ඒ ගැන නොසිතුවේය.


විනාඩි තිහ පැය, පැය පැය දෙකක් ගතවුවත් ඔවුන් යුවළ නොපැමිණි තැන ධීවරයා නිවාඩු නිකේතනයේ තොටුපොළේ ඔරුව ගාල් කර එයට ගියේ මේ යුවළ තමා ගැන අමතක වී ත්‍රිරෝද රියකින්වත් පැමිණ ඇත යන විශ්වාසයෙනි.


ඔවුන් දෙදෙන නොපැමිණි බව හිතවත් සේවකයකුගෙන් දැනගත් ඔහු තමාට මුහුණදීමට සිදු වූ දේ සේවකයාට පැවැසුවේය.


ඒ අනුව එම ස්ථානයේ සේවක පිරිස ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයට ගොස් බැලූ විට දැකගන්නට ලැබුණේ හිස් කාමරයකි. සිදුව ඇති දේ තේරුම් ගියේ එවිටය.


ඇපය සඳහා ලබාදුන් හැඳුනුම්පත මිය ගිය අයකුගේ තරුණ කාලයේ එකක් බව ඒ පිළිබඳව සොයා බැලූ සේවක පිරිසට දැකගන්නට හැකි විය.