හොරෙන් කැඳ බී දවසක් වැසිකිළියේ ඉඳලා


හොරෙන් කැඳ බීමට ගොස් දිනය පුරා වැසිකිළියේ සිටීමට සිදු වූ පුද්ගලයකු ගැන පුවතක් රත්නපුර ආසන්න නගරයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මොහු දිනපතා මත්පැන් පානය කරන පුද්ගලයෙකි. මත්පැන් බිවූ පසු පසුවදාට දැනෙන අමාරුව නැති කර ගැනීම සඳහා දිනපතා ඔහු කොළ කැඳ බීමට පුරුදුව සිටියේය.

කොළ කැඳ බීම සඳහා යන මුදල ඔහු ගෙවන්නේ නොගෙවාම බැරි නිසාය. දිනක් ඔහුට අපූරු අදහසක් ඇති විය. ඒ කොළ කැඳ වෙළෙන්දා විසින් උදෑසන සමහර නිවෙස් අසළ බෝතල්වල දමා යන කැඳ දැකීමෙනි. වෙළෙන්දා විසින් ගේට්ටුවේ එල්ලා යන කොළ කැඳ බෝතලයට මුදල් ගන්නේ ගෙහිමියාගෙන් පසුවදාය.

මොහු මෙය දැක දිනක් හොරෙන් කොළ කැඳ බෝතලය පානය කර හීන් සීරුවේ මාරු විය. නිවෙස් හිමියාගෙන් මුදල් ඉල්ලීමට වෙළෙන්දා ගිය පසු ඔහුත් පවසන්නේ හිස් බෝතලයක් පමණක් ගේට්ටුවේ තිබුණු බවය.

සිද්ධිය හා පුද්ගලයා හඳුනාගත් කැඳ වෙළෙන්දා නිවෙස් හිමියන් දැනුම්වත් කර කැඳවලට ජාපාල කලවම් කර පසුවදා ගේට්ටුවේ එල්ලන ලදී. හදිස්සියේ පැමිණි කැඳ හොරා එක හුස්මට කැඳ බෝතලය බී වේගයෙන් එම ස්ථානයෙන් මාරු වී ඇත්තේ කැඳවල දැනුණු අමුතු රස අමතක කරමිනි.

ටික වෙලාවක් යන විට වැසිකිළියක් සොයා ගැනීමට නොහැකි තැන අසළ තිබූ ලන්දකට පැන ප‍්‍රථමවටය නිම කර දිනය පුරා පොදු වැසිකිළියට ගොස් රුපියල් දහය ගානේ එකසිය පනහක් වෙනතුරු මුදල් ගෙවන්නට සිදු වුණාලූ.