දින කිහිපයක් දිකින්නට නොලැබුණු තරුණයා දිවා ආහාරය සඳහා සුපුරුදු හෝටලයට පිවිසියේය.
වෙනදා මෙන් ඔහුට සලකන වේටර්වරයා එතැනට පැමිණි අතර රුපියල් පනහක් අතට ගත් තරුණයා එය ගුලිකර කාටත් නොපෙනෙන සේ වේටර් අත තැබුවේ සුපුරුදු පරිදිය.
වේටර්වරයා ඇස්වලින් යමක් ප‍්‍රකාශ කළත් කුසගින්නේ සිටි තරුණයාට එය වටහාගත නොහැකි විය. මේසය මතට මස්, මාළු, බිත්තර සමඟ ව්‍යාංජන ද තැබිණි. පෙර දිනවල මෙන් බත් සමඟ මස් ද මාළු ද බිත්තර ද බෙදාගත් හෙතෙම ව්‍යාංජන ද දමාගෙන බඩපුරා අනුභව කළේය.
අතුරුපසට අයිස්ක‍්‍රීම් ද ගත් පසු බිල ලැබිණි. බිල දුටු තරුණයාට දෙලෝ සිහිවිය. බිල රුපියල් හාරසිය විස්සකි. වේටර් තැන ඇමතූ ඔහු ‘‘වෙනදා මට බිල දෙන්නේ රුපියල් එකසිය අසූවයි’’ යනුවෙන් පැවසීය. ”සර් දැන් ඒ වැඬේ කරන්න බැහැ මෙහෙ සීසීටීවී හයි කරලා.
මුදලාලි ගෙදර ඉඳන් ෆෝන් එකෙනුත් කඬේ දිහා බලන් ඉන්නේ. සර්ට මම ඇස්වලිනුත් පෙන්නුවේ ඒක ගැන තමයි’’ වේටර්වරයා පැවසීය. කිසිත් නොදෙඩූ තරුණයා බිල ගෙවා පිටතට පැමිණියේය. ඔහු හෝටලය ඉදිරිපිටින් යෑම ද නතර කළේය.

