ළමා නිවාසයක පාලිකාවගේ කාමරයට හොරෙන් ඇතුළු වී පළාගිය අයකු පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ප‍්‍රදේශයේ පොලිසියට ගිය අවස්ථාවේ එසේ පළාගිය තැනැත්තාගේ නම සොයාගෙන එන ලෙස දැන්වූ පුවතක් බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
පසුගිය සතියේ දිනක නේවාසික ළමයින් රාත‍්‍රි නින්දට පෙර නිවාසයේ පාලිකාවට වැඳීමට කුස්සියට යමින් සිටියදී පාලිකාවගේ කාමරයේ නාඳුනන අයෙකු සිටිනවා දැක කෑගසා ඇත.
ළමයින්ගේ හඬට බියපත් වූ නාඳුනන පුද්ගලයා පළාගොස් ඇත. රාත‍්‍රි කාලයේ මේ ගැන පැමිණිලි කරන්නට යාමට අපහසු නිසා පාලිකාව පසුදා උදේ පොලිසියට ගොස් තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අදහස් කර තිබේ.
කුඩු පානයට ඇබ්බැහිවූවකු කිසියම් දේපළක් සොරකම් කිරීමට පැමිණ ඇති බවට සැක කළ පාලිකාව පසුදා උදෙන්ම පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළාය. පැමිණිල්ල සටහන් කරන්නට නම් ඒ පුද්ගලයාගේ නම සොයාගෙන එන ලෙස ඒ අවස්ථාවේ රාජකාරියේ සිටි නිලධාරියා දන්වා ඇති අතර එම ප‍්‍රකාශයෙන් දැඩි අපහසුතාවට පත් පාලිකාව දන්නා හඳුනන අයගේ උදව්වෙන් උසස් නිලධාරියෙකු දැනුම්වත් කිරීමෙන් පසු පැමිණිල්ල සටහන් කිරීමේ අවස්ථාව ලැබී ඇත.

