කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල දිස්ත්‍රික්කයේ දියුණු වෙමින් පවතින නියම් ගමකි. මෙහි බොහෝ පිරිසක් තම ජීවිකාව බෝග වගාවෙන් සහ තේ වගාවෙන් සරිකර ගත්හ.
මෙම ප්‍රදේශයේ රජයේ රැකියා කරන යුවළක් සිටින නිවෙසකට සොරකු රිංගා එහි තිබූ ගෑස් ළිපක් සහ රයිස් කුකරයක් සොරාගෙන ගොස් තිබිණි. මේ ගැන ගෙහිමියන් සොයා බැලුවද හෝඩුවාවක් නැති කල්හි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ටද මේ පිළිබඳව ඔවුහු පැමිණිලි කළහ.
මෙම සිද්ධියෙන් දින කීපයක් ගතවිය. තම නිවසේ මෙම උපකරණ දෙකම නොමැතිවීම හේතුවෙන් තම ආහාර පිසීම ආදි කටයුතු කිරීමට මෙම නිවැසියන්ට ඉතාමත් අපහසු තත්ත්වයක්ද උදාවී තිබිණි.
කෙසේ වෙතත් එක් දිනක උදෑසන ගමේ කාන්තාවක මෙම නිවෙසට පැමිණ ගෙහිමියන්ට පවසා සිටියේ ඔවුන්ගෙන් සොරකම් කරගන්නා ලද රයිස් කුකරය සහ ගෑස් ළිප එම නිවෙස්වලට සමීපයේම තිබෙන නිවසක තිබෙන බවයි.
මේ ගැන දැනගත් ජෝඩුව මේ ගැන සොයා බැලීම සඳහා කාන්තාව කී නිවසට ගොස් එබිකම් කරන්නට වූහ. සිද්ධිය ඇත්තක් බව වටහා ගැනීමට මෙම යුවළට වැඩි වේලාවක් නොගිය අතර එම භාණ්ඩ දෙකම තමන්ගේ නිවසින් සොරකම් කරගෙන ගොස් තිබූ දේවල් බව එම දෙපලට ඒත්තු ගියේය.
පසුව මේ ගැන භාණ්ඩ තිබූ නිවසේ අයගෙන් විමසා සිටි අතර එම භාණ්ඩ ලබාදීමට නම් තමන්ට රුපියල් නමදාහක මුදලක් ලබා දෙන ලෙස භාණ්ඩ තිබූ නිවසේ සිටි කෙනකු මෙම යුවළට පවසා තිබේ.
පසුව මෙම යුවළ මුදල් රැගෙන එන්නම් යැයි ඔවුනට පවසා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මේ බව දන්වා සිටීමට කාර්යාලයට ගියහ. එහි ස්ථානාධිපතිවරයාට සිද්ධිය පැවසූ මෙම යුවළට ඔහු පවසා ඇත්තේ භාණ්ඩ තිබේනම් ඒ අය ඉල්ලා සිටි මුදල ගෙවා භාණ්ඩ දෙක අත්‍යාවශ්‍ය නිසා රැගෙන යන ලෙසයි.
පසුව මේ දෙදෙනා අනේ කාලේ වනේ වාසේ කියා තමන්ගේම භාණ්ඩ සොරාගත් සොර දෙටුවාට මුදල් ගෙවා නැවත රයිස් කුකරය සහ ගෑස් ළිප නිවසට ගෙන යාමට කටයුතු කළහ.