හොරාගෙන් පේනයක් අසා බිරියගෙන් කුඩ පාරකුත් කාලා


නැතිවූ මුදල් පසුම්බියක තිබුණු දේවල් අසල සිටි පුද්ගලයකු විසින් කියූ අපූරු පුවතක් බස්නාහිර පළාතේ නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.


මුදල් පසුම්බියේ අයිතිකරු තම බිරිය සමඟ නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇත්තේ අවශ්‍යතාවකටය. නුගේගොඩ බස් නැවතුමෙන් බස් රථය නැවැත්වු අතර එයින් බැසගත් ඔහු මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එය නොමැති බව දැක අන්දුන් කුන්දුන් විය.


එවිට ඔහු අසල සිටි තවත් පුද්ගලයකු ඇයි මහත්තයා මොනවද හොයන්නේ යැයි ඔහුගෙන් අසා ඇත. අනේ මගේ මුදල් පසුම්බිය නැති වෙලානේ යැයි ඔහු පවසා ඇත. අනෙක් පුද්ගලයා මැදිවිය ඉක්මවූ අයෙකි. “මහත්තයා කීයක් තිබුණද පර්ස් එකේ” යැයි එම පුද්ගලයා අසා ඇත. 


එවිට මුදල් පසුම්බියේ හිමිකරු රුපියල් විසිදාහක් තිබුණා. මගේ නෝනත් එක්ක මම ආවේ පොඩි වුවමනාවකට යැයි පවසා ඇත. එවිට “අනේ මහත්තයෝ බොරු කියන්න එපා එකේ තිබුණේ රුපියල් එක්දහස් පන්සියයි තව කාඞ් වගයකුයි උපත් පාලන කොපු දෙකයි. තව දම්පාට සාරියක් ඇදගත්ත නෝනා කෙනෙකුගේ පින්තූරයකුයි. හැබැයි ඒ පින්තූරේ ඉන්නේ මේ නෝනානම් නොමෙයි” යැයි ඔහු පවසා ඇත.


තමා දෙස කන්න වගේ බලන බිරිය දෙස හොරහින් බැලුව ඔහු “තමුසේ දන්නේ කොහොමද ඒවා ගැන” යැයි අසා ඇත. එවිට අනෙක් පුද්ගලයා “මමනේ පර්ස් එක හොරකම් කළේ” යැයි පවසනවාත් සමඟම ඔහු පාරෙන් ඉවතට පැන දිවයන්නට විය. ඔහු හඹා යන්නට ඔහුට නොහැකි වුණේ ප්‍රතිවිරුද්ධ දෙසින් සිය බිරියගෙන් එල්ල වූ කුඩ පහර නිසාය.

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)