මේ දිනවල රටම කතා කරන්නේ පොල් ගැනය. පොල් මැන විකිණීමට අනිවාර්ය කර තිබියදීත් තවත් තැනක පොල් ගැන අපූරු කතා ද අසන්නට ලැබේ. මේ හබරාදුව, පිලාන, කොස්දුව ප්‍රදේශයේ ඉඩම් හිමියෙකුට සිදු වූ සිදුවීමකි.
ඉඩම් හිමියාගේ පොල් ගස් කිහිපයක ගෙඩි කඩා ගැනීමට පොල් කඩන්නෙකු සෙව්වත් සොයා ගැනීම අපහසු විය.
මේ නිසා අල්ලපු ගමේ සිටින මිතුරකු මගින් පොල් කඩන්නෙකු ගෙන්වා ගත්තේය. පොල් කඩන්නා පැමිණ ගස මුල සිට උඩ බලා ගස් වලට නැංගේය. ඔහු එක ගසකින් පොල් වලු දෙක බැගින් කඩා දැම්මේය. මේ අතර ඉඩම් හිමියා බිම සිට උඩ බලා ඇයි අර පොල් වල්ල පැහිලා කඩන්නේ නැද්ද? කියා විමසුවේය.
‘ඒ වල්ල තවම පැහිලා නැහැ මහත්තයා’ පොල් කඩන්නා ගස උඩ සිටම කෑ ගසා කීවේය. ගස් කිහිපයක පොල්කැඩූ ඔහු කුලිය ද රැගෙන පිටව ගියේය. එහෙත් ගස් කිහිපයක පැහුණ පොල් වලු ඉතිරිව තිබෙන බව ඉඩම් හිමියාට පෙනුණි.
මේ අතර පසු දින අලුයම තුනට පමණ කිසියම් ශබ්දයක් ඇසී ඉඩම් හිමියා ජනේලය හැර බැලුවේය. ඔහු දුටුවේ දහවල් කාලයේ පැමිණ පොල් කැඩු පුද්ගලයා ගස්වල ඉතිරි කර තිබූ පැසුණ පොල් කඩාගෙන යන අයුරුය. මේ බව ඔහු බිරිඳට පැවසූ විට බිරිඳ දොර පොල්ල ගෙන සැමියා අතට දුන්නත් බියට පත් වූ සැමියා ජනේලය ද වසා ඇඳේම ගුලි වුණේය.
(උණවටුන ඩී.ජී. සුගතපාල)