(අකිල බද්දේවිතාන)
කොළොම්පුර පැත්තේ සරසවියකි. එකම වසරේ දුක සැප එකට බෙදා හදාගත් හොඳම මිතුරන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනාම නවාතැන් ගෙන සිටියේ එකම නවානැන්පොළකය. දෙදෙනා සෑම ගමනක්ම ගියේ එකට බැවින් දෙදෙනාගේම සියලූ රහස් දෙදෙනාම දැන සිටියාලූ. මේ දෙදෙනාගෙන් එක් අයෙක් සරසවියේම සිය යෙහෙළියක පෙම්වතිය කරගත් අතර ඔහුගේ මිතුරා ද ඊට නොපැකිළිවම උදව් කළේය.
සිය පෙම්වතිය මුණගැසීම සඳහා පෙම්වතා බොහෝ අවස්ථාවලදී ඇය නැවතී සිටි සරසවිය අසල නවාතැන්පොළට යයි. එසේ ගිය අවස්ථා කිහිපයකදීම මිතුරා ද කැටුව යාම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. පෙම්වතියගේ නවාතැන්පොළෙහි බාරකාරිය තරමක් තද නීතිරීති ක‍්‍රියාත්මක කරමින් නවාතැන්ගෙන සිටින්නන් බිය කරගෙන සිටි බැවින් පෙම්වතිය මුණගැසීමට යාම පෙම්වතාට තරමක් දුෂ්කර කාර්යයක් විය.
සරසවියේදී මුණ ගැසුණ ද ඇතැම් අවස්ථාවල ඇයට කෑම බීම හෝ වෙනත් යමක් ගෙනැවිත් දීමට සිය මිතුරා ද සමඟ පෙම්වතා ඇගේ නවාතැනට ගියේ හොර පාරකිනි. ඒ නවාතැන පිටුපස ඇති ඔහුම සොයාගත් විශේෂ පාරක් ඔස්සේය. මිතුරා ද මේ පාර හොඳ හැටි දැනගත්තේ පෙම්වතාගේ උදව්වට නිතරම එහි යාම නිසාය.
මෙසේ මාස කිහිපයක් පෙම්වතා සමඟ ඔහුගේ පෙම්වතිය හමුවීමට ගිය ඔහු පසුව තනිවම ඇගේ නවාතැනට යාමට පටන් ගත්තේය. මේ සඳහා පෙම්වතියගෙන් ද අවසර ලැබී තිබූ බැවින් පෙම්වතාට නොදැනීම ඔහුගේ මිතුරා හා ඔහුගේ පෙම්වතිය අතර අලූත් පෙමක් මෝරමින් පැවතිණි.
කිහිප දිනකට පසු මේ පිළිබඳ ඔහුගේ කන වැකුණු අතර තම පෙම්වතියටත් වඩා මිතුරා විශ්වාස කළ ඔහු මේ පිළිබඳ එතරම් තැකීමක් නොකළේය. නමුත් එසේ කලක් ගතවෙද්දී පෙම්වතා කියාදුන් හොර පාරෙන් පෙම්වතිය නිතර මුණගැසුණු මිතුරා ඇය එම නවාතැන්පොළෙන් ඉවත් කරගෙන රැගෙන ගියේ ද එම පාරෙනි.
ඔවුන් දෙදෙනා අතුරුදන්ව ඇති පුවත පෙම්වතාට දැන ගන්නට ලැබුණු අතර ඔහු සිය මිතුරාත් පෙම්වතියත් යන දෙදෙනාම අහිමිවීමේ වේදනාවෙන් පීඩා වින්දේය. එසේ සිටියදී දිනක් ඔහුගේ ජංගම දුරකතනයට සිය අතිජාත මිතුරා කෙටි පණිවිඩයක් තබා තිබුණි. එහි සඳහන් වූයේ ”හරි පාර කියාදුන්නාට ස්තුතියි” යනුවෙනි.

