හොඳට සූර්වෙලා මදි හරියට පැණිත් බීලා


සාදයකට ගොස් පදම වැඩිවී සූර් වූ යහළුවන් පිරිසක් සමග නිවෙසට එන අතරතුර මෝටර් රථයේ තිබූ කිතුල් පැණි බෝතල් දෙක ද එම යහළුවන් පිරිස බී ඇති බව වාරියපොල ආසන්න ප්‍රදේශයකින් වාර්තා වේ.

සිද්ධිය සැකෙවින් මෙසේය. තම නිවසේ කැවුම් සකස් කිරීම සඳහා කිතුල් පැණි බෝතල් දෙකක් ගෙන ඒම සඳහා සිය බිරිය පැවසූ අතර, සාදයට යන ගමනේ දී අතරමග වෙළෙඳසලකින් කිතුල් පැණි බෝතල් දෙකක් රැගෙන වාහනයේ දමා සාදයට සහභාගි වී ඇත. පසුව සාදය අවසානයේ හොඳට සූර්වූ මිතුරන් කීපදෙනකු නිවෙස්වලට ඇරලවා නිවෙසට පැමිණ ඇත. පසුදා තම බිරිය කිතුල් පැණි පිළිබඳව විමසීමේදී එය රැගෙන ආ බව පැවසූ පසු ඇය වාහනය ඇතුළත පරීක්ෂා කර ඇති අතර, පැණි බෝතල් දෙක හිස් වී ඇති බව දැක ඒ පිළිබඳව තම සැමියාට දැන්වූවාය. මෝටර් රථය ළඟට පැමිණි සැමියාට දැකීමට හැකිවී ඇත්තේ ද හිස් වූ පැණි බෝතල් දෙකයි. ‘මේ යක්කු අරක්කු පාටට වස බෝතලයක් තිබුණා නම් ඒකත් බොනවා, අරක්කු යැයි සිතා පැණි බොන රටක මතට තිත තැබීමට හැකි වන්නේ කොහොම දැයි’ බිරිය කේන්තියෙන් පවසද්දී සැමියා කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්විය.

(බමුණුකොටුව එම්.එම්.එන්. හේරත්)