හොඳ දේටත් වැට බැඳලා


 රජයේ පාසලක  ප්‍රාථමික අංශයේ ඉගෙන ගන්නා සිසු සිසුවියන්  හතළිහකි. සියලු දෙනාම වැලි සෙල්ලම් කර ඉන්පසු පැමිණියේ උදෑසන තම ආහාර ගැනීමටය. එක් එක් සිසුහු  ආහාර ගැනීමට පෙර අත් සෝදා සූදානම් වූහ.


 බිස්කට්, කේක්, බනිස්, සැන්විච්, හැලප, රොටී ආදී විවිධ  කෑම වර්ග  විය. ඒ අතර  එක් සිසුවකු තම ආහාරයට ගෙනැවිත් තිබුණේ ‘මුං ඇට’ ය. එය දුටු අන් සිසුහු ඔහුට ඔච්චම් කරන්නට වූහ. ‘ඕවා කන්න පුළුවන්ද?  අපෝ.....’ ආදී වශයෙන්  ඔච්චම් කරන්නට වූහ. ඒ සැණින් මුං ඇට ගෙනා සිසුවා අඬන්නට  විය. ඒ ඇඬීමත් පුන පුනා නැගුණු  ඔච්චම්  හඬත්  සමඟින් ඔහු ගෙනෙන ලද කෑම භාජනය තම බෑගයට දමාගෙන  තම ඩෙස් එක මත හිස තබාගෙන පාසල අවසන්වන තුරු සිටියේ ලු.


  මෙම  කතාව දරුවා තම මවට කියන විට ඒ ඇසූ වයස්ගත කාන්තාවක් මෙසේ කීවාය. ‘ අනේ අම්මප රටකට ගිය කලක්! අනේ කාලේ වනේ වාසේ එදා අපි කෑවේ තලප පිට්ටු කොස් දෙල් මුං ඇට කව්පි. ඒ නිසා තමයි  අපි මේ හොඳින් ඉන්නෙ. ඔය කඩචෝරු කන නිසා තමයි ඔක්කොම ලෙඞ්ඩු වෙලා තියෙන්නෙ. හොඳ දේ කන එකාට කන්න දෙන්නෙත් නැහැ උං කන්නෙත් නැහැ’ කියා හෑල්ලක් කියන්නට පටන් ගත්තාය.
(වලස්මුල්ල  තිලක්  මනම්පේරි)