(තලාතුඔය - ටී.එච්. සරත්)
බසය දෙල්තොට නගරයෙන් ගමන් ආරම්භ කරනවිට එහි අසුන් ගෙන සිටියේ ඉතා සුළු පිරිසකි. කිලෝමීටර දෙකක පමණ දුරක් බසය ධාවනය වුවද කොන්දොස්තරවරයාට ප්‍රවේශපත් නිකුත් කිරීමේ වුවමනාවක් නොවීය. මගීන් මුදල් අතැතිව බලා සිටියත් ඔහුට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොවීය.

රියැදුරු අසුනට සමීපව රියැදුරු හා කතාබස් කරමින් පැමිණි ඔහු වරෙක දුරකථනය ගෙන ඊළඟට පැමිණීමට නියමිත බසයේ රියැදුරුට උපදෙස් දෙයි. තවත් වරෙක ඉදිරියෙන් ධාවනය වන බස් රථ ගැන විමසනු ඇසේ.
මද වේලාවකින් ඔහු කඩිමුඩියේ ප්‍රවේශපත් නිකුත් කරන්නට විය. බසයේ සිටි මඟීන් සියල්ලන්ටම විනාඩි දහයක් යන්නට මත්තෙන් ප්‍රවේශපත් නිකුත් කළ ඔහු යළිත් රියැදුරු සමග මොනවාදෝ මිමුනුවේය. බසය ධාවනය කරමින්ම රියැදුරු අතින් සංඥාවක් කළේ රියැදුරු අසුන අසල ඇති පෙට්ටියක් පෙන්වමිනි. පෙට්ටිය තුළින් ඔහු එළියට ගත්තේ සී.ඩී. තැටියකි. එය වීඩියෝ යන්ත්‍රයට ඇතුල් කළ ඔහු බසයේ වූ රූපවාහිනී යන්ත්‍රය මැනවින් පෙනෙන ස්ථානයක හරි බරි ගැසී වාඩි වූයේ බසයේ සිටි පිරිස සීමිත වූ බැවිනි.
රූපවාහිනි තිරයේ සංගීත සාජ්ජයකි. අඩ නිරුවත් ගැහැනු ගීතයට අනුරූපීව නැතත් ඉවක් බවක් නැතිව ඇඟ සොලවමින් නටති. කොන්දොස්තරවරයා එක එල්ලේ එදෙස බලා ගෙන සිටී.
බසයට තැන තැන දී මගීහු ගොඩවූහ. බසයේ ආසන සියල්ල පිරී ගියේය. අවසානයේ කොන්දොස්තරවරයාට ආසනයෙන් නැඟිටින්නට සිදුවිය. දැන් බස් රථයේ හිටගෙන ගමන් කරන සංඛ්‍යාව හත් අට දෙනෙකි. මළ ගෙදරක් ආසන්නයේ බසය නැවතිණි. එතැනින් ද බසයට තවත් හත් අට දෙනෙක් නැගගත්හ.
මෙතෙක් නිසොල්මනේ පැමිණි කොන්දොස්තරවරයා හිටගෙන යන මගීන්ට අමුතු නීතියක් දැම්මේය.
“ඔය හිටගෙන යන අය එක පැත්තකට වෙන්න. දකුණු පැත්තට වෙලා සීට් එක අල්ලගන්න. දකුණු පැත්තට වෙලා අල්ලගන්න. තව ඉන්නවා බස් එකේ යන්න. දකුණට වෙලා සීට් අල්ලගන්න....” මෙලෙස දිගින් දිගටම ඔහුගේ ගෝරනාඩුව ඇසෙන්නට වූයේ මගීන් ඔහුගේ ගෝරනාඩුව තඹයකට මායිම් නොකිරීම නිසාය.
බසයේ පසුපසට වන්නට අසුන් ගෙන සිටියේ විශ්‍රාමික ගුරුමහතෙකි. ඔහු සියල්ල බලා සිට එකවරම නැගීසිටියේය, කොන්දොස්තරවරයා දෙස බලා ”නවත්තගන්නවා තමුසෙගේ ගෝරනාඩුව. හෙලුවැලි නැටුම් බලන්න ඕන නම් ගෙදර ගිහින් බලනවා. බස් එක කියන්නේ පොදු දෙයක්. මිනිස්සුන්ට නීති දමන්න එපා”යි මහ හඬින් කීවේය.
කොන්දොස්තරවරයාට නැටුම් බලන්නට උවමනා වූ හෙයින් මගීන්ට එක පැත්තකට වන්නැයි ගෝරනාඩු කර ඇති බව මගීන් බොහෝ දෙනෙකුට වැටහුනේ එවිටය. එතැන් සිට මහනුවර නගරයට ළඟාවනතුරු කොන්දොස්තරවරයා ගෝරනාඩු කළේ නැත.

