හූනියමට ලෙඩවී 119ට පැමිණිලි කරලා


ඉකුත් දිනෙක තලාතුඔය පොලිස් ස්ථානයට හදිසි ඇමතුම් 119 යටතේ ලැබී ඇති දුරකතන ඇමතුමකින් කියැවී ඇත්තේ නගරයට නුදුරු ගම්බද පෙදෙසක පුද්ගලයකුට තවත් පුද්ගලයෙකුගෙන් හිරිහැර සිදුවන බවකි. ඒ පිළිබඳව සොයා බැලීමට වහා  ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා දුරකතන ඇමතුම දුන් පුද්ගලයාගේ ප්‍රකාශයෙන් අන්දමන්ද වූ පුවතකි මේ.

සන්ධ්‍යා කාලයේ ලැබුණ මෙකී ඇමතුම පිළිබඳව සොයා බැලීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් වහා පිටත්ව ගොස් තිබේ.

කඳු හෙල් පසුකර දුෂ්කර මඟක් ඔස්සේ ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා දුරකතන ඇමතුම දුන් පුද්ගලයාගේ නිවස සොයා ඔහු හමුවට ගොස් තිබේ.

තමන්ට හිරිහැර කරන පුද්ගලයා කවුදැයි පොලිස් නිලධාරීන් ප්‍රශ්න කළ විට මේ ආසන්නයේම කෙනෙක් තමයි. නිශ්චිතවම කියන්න බෑ. එයා මට කොඩිවිනයක් කරලා. මගේ ඇඟෙන් කිසිම දෙයක් පිටවෙන්නේ නෑ. මේ වින කිරීම නවත්වන්න කියන්නයි මම පොලීසියට කතා කළේ යි පවසා තිබේ.

මොනවද පිටවෙන්නේ නැත්තේ..? පොලිස් නිලධාරීන් පෙරළා ප්‍රශ්න කළවිට ඔහු කියා ඇත්තේ මට ශුක්‍රාණු පිටවෙන්නේ නෑ විනකරලා. මේ වින කිරීම නවත්වන්න කියන්නැයි පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

මේ අවස්ථාවේ ඔහුගේ බිරිය ද පැමිණ ඇති අතර ඇය පවසා ඇත්තේ මොහුට මානසික රෝගයක් ඇති බවත් තමා නිවසේ නොසිටි අවස්ථාවේ මේ ලෙස 119 අංකයට අමතා ඇති බවත්ය.

පොලිස් හදිසි ඇමතුම් අංකය ඇත්තේ කිසියම් පුද්ගලයකුට සිදුවන හිරිහැරයක්, පහරදීමක් හෝ සොරකමක්,  නැතහොත් හදිසි ආපදාවක් පිළිබඳව දැනුම් දීමට මිස මෙවැනි දේ සඳහා නොවන බවත් පොලිස් නිලධාරීන් දුෂ්කර මඟ ගෙවා පැමිණෙන්නේ ඉන්ධන පවා සොයා ගැනීමට අසීරු අවස්ථාවක බවත් මින් පසු මෙවැනි ඇමතුම් නොදෙන ලෙසත් ඔහුට අවවාද කර ඇති පොලිස් නිලධාරීන්  ඉක්මනින් මොහු මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යන ලෙස බිරිඳට පවසා ආපසු පැමිණ ඇති අතර මෙවැනි ඇමතුමක් තම ජීවිත කාලයටම යළි නොලැබෙන බවත් පවසා තිබේ.

තලාතුඔය ටී.එච්. සරත්