(බළන්ගොඩ - විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
මෙය එක්තරා ප්‍රදේශයක සිදු වූ අපූරු සිදුවීමකි. ඇය එම ප්‍රදේශයේ විදුහලක ගුරුවෘත්තියේ යෙදෙන්නීය. එම විදුහලේ මුරකරුවෙකු ලෙස සේවය කරන ඔහු කාගේත් ආදරය දිනාගත් පුද්ගලයෙකි. හැමෝටම විශ්වාසවන්තය.

දිනක් ගුරුවරිය ඔහුට තම ඒ.ටී.එම්. බැංකු කාඞ්පත හා එහි අංකය දී ප්‍රකාශ කළේ නගරයට ගිහින් එන ගමන් මුදල් රුපියල් පන්දහසක් රැගෙන එන ලෙසටය.
ඒ අනුව මුරකරු නගරයට ගොස් ආපසු එන ගමන් ගුරුවරියට අවශ්‍ය මුදල් ගෙනැවිත් දුන්නේය. ටික දිනක් මෙසේ ගත විය. ගුරුවරිය බැංකුවට ගිය දිනෙක තම ගිණුම පරීක්ෂා කළාය. “දෙයියෝ සාක්කි” මේකේ රුපියල් ලක්ෂයයක් අඩුයිනේ. කව්ද මේ සල්ලි ගත්තේ. ඒ.ටී.එම්. කාඞ් එකත් මගේ ළඟනේ තිබුණේ.
වහාම මේ පිළිබඳව අදාළ බැංකු ශාඛාවේ කළමනාකරුට දන්වා සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කළාය. හරි හොරේ අසුවුණා. මේ කැමරාවේ ඉන්නේ අපේ ඉස්කෝලේ වැඩකරන මුරකරු. ඇය කළමනාකරුට කීවාය. පසුව ඇය වහාම මේ පිළිබඳව තම පුරුෂයාට දන්වා මුරකරුගේ නිවසට ගියාය.
ඒ වන විට මුරකරුද සේවය නිමකර නිවසේ රැඳී සිටි අතර පෙදරේරුවෝ හා වඩුවෝ කිහිපදෙනෙක් නිවස අලුත්වැඩියා කරමින් සිටියහ. ඇය මුරකරුට කතා කළාය. සියලු විස්තර කීවාය. මුරකරු කිසිවක් නොදන්නා බව කීවේය. හරි කමක් නැහැ. අපි එහෙනම් පොලීසියට යන්නම්. ඇය කීවාය. අනේ, මිස් පොලීසි යන්න ඕනෑ නැහැ. මම ඇත්ත කියන්නම්. එදා මිස් මට දුන්නු ඒ.ටී.එම්. කාඞ්එකේ අංකය ලියගෙන තියා ගත්තා. පසුව දිනෙක මිස් පන්තියෙ උගන්වන වේලාවේ කාඞ් එක බෑග් එකෙන් හොරකම් කරලා දෙපාරකට රුපියල් පනස්දහස බැගින් අරගෙන ආපසු කාඞ් එක මිස්ගේ බෑග් එකට දැම්මා යැයි ඔහු කීවේය. ඒ ගත්ත සල්ලි වලින් තමයි මේ ගේ අලුත්වැඩියා කරන්නේ.
කොහොම වුණත් තමුන් කළේ බරපතළ වරදක්. පහත් වැඩක්. විශ්වාසකමටනේ මම අංකය දුන්නේ. දැන් මොකද කරන්නේ ගුරුවරිය ඇසුවාය. අනේ මිස් මම සල්ලි ටිකටික දෙන්නම්. ඔහු බැගෑපත් ලෙස කීවේය. තමුන්ගේ දරුවොයි, බිරිඳයි ගැන කල්පනා කරලා මම පොලිසි යන්නේ නැහැ. පොලීසි ගියොත් තමුන්ගේ රැකියාවත් නැතිවෙනවා. ඒ නිසා ටික ටික හරි මගේ සල්ලි දෙන්න කියා ඇය ඔහුගේ නිවසින් පිටත් වූයේ අද රටේ මිනිස්සු කොහොම විශ්වාස කරන්නද කියමින්ය.

