මහනුවර ප‍්‍රදේශයේ හෝටලයක හිමිකරුවකු සහ එහි සේවකයකු එක්ව සේවය අවසන් කර බස් රථයකින් ගමන් කරමින් සිටියදී හදිසියේ තිරිංග පෑගීමෙන් සේවකයා බස් රියේ තබා තිබූ මල්ල වැටී තැම්බූ බිත්තර දහයකට වඩා විසිරීම නිසා හෝටලයේ මුදලාලිට තරු පෙනීමේ සිද්ධියක් පසුගියදා සිදු විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මහනුවරට නුදුරු ප‍්‍රදේශයක පිහිටි හෝටලයක සේවය කරන සේවකයෙක් සහ එහි හිමිකරු රාත‍්‍රියේ වැඩ අවසන් කර නිවෙසට යාම සඳහා ගියහ. දෙදෙනාම ගියේ එකම බස් රථයකය.
හෝටලයේ සේවකයා තමන්ගේ ඇඳුම් ඇතුළු දෑ දමා ගත් මල්ලක් ද රැගෙන පැමිණියේය. බස් රථයේ සෙනග පිරී සිටි බැවින් සේවකයා සිය මල්ල බස් රථයේ රියැදුරුට ආසන්න ස්ථානයක තැබුව ද තවත් ටික දුරක් යන විට මෙම දෙදෙනාටම අසුන් ලැබිණ. එහෙත් සේවකයාගේ මල්ල එසේම තිබිණ.
එක් වරම බස් රථයේ තිරිංග තද වූ අතර බස් රථය හෙල්ලී නැවතුනේය. එම සෙලවීමට හෝටල් සේවකයාගේ මල්ල විසිවුණු අතර එතුළ තිබූ තැම්බූ බිත්තර 10 ක් පමණ බස් රථය තුළ සීසීකඩ විසිරිණ.
එය දුටු හෝටලයේ හිමිකරුට යකා නැග්ගේය. එහෙත් කිසිවක් නොකිව් ඔහු බස් රථයෙන් බහින තුරු සිටියේ සේවකයාගේ සේවය අවසන් කිරීමටය.

