හැට පහේ සැමියා නම ගම හංගාගෙන එ​ෙලාව ගිහින්


(හෙට්ටිපොළ ධම්මිකා බාලසූරිය) 
මියගිය සැමියාගේ නම, වාසගම, වයස නොදන්නා අපූරු බිරිඳක් පිළිබඳව කුලියාපිටිය ප්‍ර​දේශයෙන් වාර්තා විය.


මෙම කාන්තාවගේ වයස අවුරුදු හැට පහක් පමණ වේ. 


ඇය විවාහ වී වසර තිස් පහක් පමණ වන අතර දරුවන් තිදෙනෙක් සිටිති. ඔවුහු වසර තිස් පහක් තිස්සේ දරුවන් තිදෙනාද ලොකුමහත් කර ගනිමින් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් කාලය ගත කළහ. 


සැමියාට එදිනෙදා ලැබෙන ආදායමෙන් පවුලේ වියදම දරාගෙන ජීවත්ව ඇති මෙම යුවළ දරුවන් රැකියා ලැබීමෙන් පසුව නිවසට වී සුවසේ කාලය ගතකර තිබේ. 


අවුරුදු හැට පහක් පමණ වයසැති සැමියා නොසිතූ ලෙසින් සිය නිවස තුළම මියගොස් තිබේ. හදිසි මරණයක් නිසා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නිලධාරීන් පිරිසක් නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී දරුවන් කිසිවකුත් නිවසෙහි සිට නොමැති අතර නිලධාරීන් මියගිය අයගේ බිරිඳ ගෙන්වා ඔහුගේ නම වයස පිළිබඳව විමසා තිබේ. 


ඇය තම සැමියාගේ නම වාසගම, වයස කිසිවක් නොදන්නා බව නිලධාරීන්ට කීවාය. දරුවන් තිදෙනෙකුත් ලැබී වසර තිස් පහක් පමණ කාලයක් ගතවනතුරු එකට පවුල් කෑ බිරිඳ තම සැමියාගේ නමවත් නොදැන සිටීම පිළිබඳව නිලධාරීන් පමණක් නොව අසල්වාසිනුත් පුදුමයට පත් කරවු කරුණක් වුණාලු. 


සැමියාගේ නමවත් නොදැන සිටියද අනේ මගේ දෙවියෝ ඔයා මාව තනියම දාලා ගියා නේදැයි අසමින් ඇය විලාප තබමින් හඬා වැටුණලු.