මොරගොල්ලාගම - සිසිර කැලේගම
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
තම පුතාට රැකියාවකට යාම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකි. ඒ සඳහා අවැසි සහතික පත් සියල්ල සූදානම් කර තිබුණි. නමුත් මේ සිද්ධිය දන්නේ එකී පුතා හා මවුපිය යුවළ විතරයි. එකී සම්මුඛ පරීක්ෂණයට පෙර දිනයේ මවුපියෝ පුත්‍රයා නිවසින් පිට කළහ.
“ඒ කොහේද යන්නේ, මොකටද යන්නේ” ආදී නානාප්‍රකාර ප්‍රශ්න ගම්මු අසනා බැවින් ඉන් ආරක්ෂා වීම සඳහාය. එලෙස ගිය පුතාට නියමිත දිනයේ කොටුව දුම්රිය ස්ථානය අසලට එන ලෙසට පියා ඇරයුම් කළේය.
තමන් අවැසි ඇඳුම් හා සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ යුතු සහතික රැගෙන අලුයම 3.00 ට පමණ එන බසයක නැගී කොටුවට එන බවත්, එතැනදී ඇඳුම් මාරු කරගෙන කුලී රථයකින් අදාළ ස්ථානයට කල්වේලා ඇතිව ගොස් සිටිය හැකි බවත් පියා පුතුට පවසා සිටියේය.
එලෙස පෙර දිනයේ පුතා ගිය පසුව පියා නියමිත දිනයේ කලාවැව වැව් සීමාවේ රැඳී සිටියේ අලුයම එන පළමු බසයට නැගී කොළඹට යාමේ අපේක්ෂාවෙනි.
ඔහු පාරේ සිටියදී තවත් අය එතැනට ළඟා වූහ. එතැන ගමේ අය සිටියොත් තමා හඳුනා ගන්නවා. යන තැනත් දැන ගන්නවා. ඉන් බේරෙන්නටත්, බසය ආ විගස දුවගෙන ඇවිත් නගින්නටත් ඔහු සැලසුම් කළේය. ඔහු එතැනින් ඉවතට ගියේය. ආපන ශාලාවක පිටුපස ජනේලය අසල බංකුවක වාඩි වුණේය.
එහි සේවය කරන කාන්තාවක හිමිදිරියේම අවදි වූවාය. ඇතුළත අස්පස් කළාය. ඉඳුල් වතුර පිරි කොටසක් අතට ගෙන ජනේලය තුළින් එළියට විසි කළාය. කිසිවක් නොදත් පිටත ජනේලය අසල වාඩි වී සිටි අය නැහැවුණේය.
මස්, මාළු, කරවල මුසු ඉඳුල් වතුර සුදු කමිසය, කලිසම මෙන්ම හිස සිට දෙපතුළ දක්වාම තැවරී ඇත.
වෙච්ච අලකලංචිය හමුවේ ඔහු ගෙදරට ගොස් ස්නානය කර ඇඳුම් මාරු කරගෙන පමා වී වෙනත් ආකාරයකට කොළඹට ගියත් කාලය ඉක්ම යාමෙන් එකම පුතුට සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමේ සිහිනය සුන් විය.
මේ සිද්ධිය ගැන තතු දත්තෝ ඒ ගැන ඇසීමේදී පුතාගේ පැතුම තමා නිසා බොඳව යාමෙන් සිත් වේදනාවට පත්ව සිටින පියාට ඉවසීමේ රතු කට්ට පනිනවාලු.