සෙත් ශාන්තියක් කරගන්න ඇවිත් පූජා වට්ටියේ පඬුරටත් විදලා


(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)


සෙත් ශාන්තියක් කර ගැනීම සඳහා දේවාලයට පැමිණි බව කපුවාට කියූ තරුණයා කපුවා වැඬේට සූදානම් වන අතරේ පූජා වට්ටියක තිබූ මුදල් සොරාගෙන ගොස් තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයක පිහිටි දේවාලයකින් අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය.

දේවාල භූමියේ විවිධ දෙවිවරුන්ගේ නමින් කුඩා දේවාල රැසකි. එයින් එක් දේවාලයකට පැමිණි තරුණයෙක් තමන් ආරම්භ කිරීමට යන අලූත් ව්‍යාපාරය දියුණු කරගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට අවශ්‍ය බව එහි සිටි කපුවාට කියා ඇත.

එදින දේවාලයට පැමිණි පිරිස තරමක් වැඩි වී තිබූ නිසා කපු මහතා කලින් පැමිණි කෙනෙකුගේ අවශ්‍යතාව දෙවියන්ට පවසා මදකට දේවාලයෙන් පිටතට පැමිණ ඇත. ඒ අතරේ තරුණයා දේවාලයේ දෙවි රූපය වසා තිබූ තිරය පිටුපස වට්ටියක මුදල් නෝට්ටු කිහිපයක් තිබෙනු දැක ඒවා කාටත් හොරා සාක්කුවේ දමාගෙන ඇත. පසුව තරුණයා දේවාලයේ අන් අය සමග මොහොතක් ගතකර වැඬේට උනන්දු නොවී පිටවී ගිය පසු කපුවා දෙවියන්ට පූජා කළ මුදල් දෙස බලද්දී ඒවා අතුරුදන් වී තිබෙනු දැක ඇත.

අනුමානයක් නෑ දේවාලය වටේ කැරකි කැරකී සිටි තරුණයා එම මුදල් සොරකම් කරගෙන ඇතැයි සැකසිතා කපුවා දේවාල පරිශ‍්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කර තිබේ.

සැකකාර තරුණයා මුදල් සොරකම් කරගෙන යන අයුරු එම කැමරාවේ හොඳින් සටහන් වී තිබෙනු දැක පසුව පොලිසියට පැමිණිලි කිරීමට කපුවා පියවර ගෙන ඇත.