සූර්පිට ගෙදර යන්න ඇවිත් පිට පළාතක බසයක නැඟලා


නිල ඇඳුම සහිත රාජකාරියක යෙදෙන දෙදෙනෙක් සවස සේවා විවේකය අතරතුර හමුවූහ.

රජරට ප‍්‍රධාන නගරයේ මූලස්ථානයක් අසල රාජකාරි කරන මේ දෙදෙනා සේවා විවේකයෙන් පසු නිවෙස් බලා යාමට පෙර මධුවිතෙන් සප්පායම් වීමට කතිකාවේ යෙදුණි. මේ හිතවතුන් දෙදෙනා අවන්හලකට ගොස් මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වූ අතර එක් අයකුට පදම වැඩි වී තිබිණි. තම හිතවතාට තරමක් වැඩි වෙරිමතක් තිබෙන බව අවබෝධ කරගත් අනෙක් තැනැත්තා ඔහුට නිවෙස බලා යාමට පහසුවන අයුරින් බස් නැවතුම කරා තම යතුරු පැදියෙන් ඇරලවීමට කටයුතු කළේය.

තම හිතවතා මගී බස් නැවතුමට ඇරල වූ අනෙකා යතුරු පැදියෙන් ගෙදර යන්නට ගියේය. බස් නැවතුමේ සිටි අනෙක් තැනැත්තා මද වේලාවකට පසු බස් රියට ගොඩනැගුනේ නිවෙස බලා යාමේ අටියෙනි. වෙරි මත වැඩිකමට ඔහුට බස්රිය අසුනේම නින්ද ගියේය. සැතපුම් පහක් පමණ දුර ගිය පසු ඔහුට ඇහැ ඇරිණි.

ඒ අතර වටපිටාව විපරම් කරමින් බලද්දී ඔහුට අමුත්තක් දැනිණ. මෙය තම නිවෙස පැත්තට යන බස් රිය නොවන බව ඔහුට තේරුම් ගියේය. බස් රියේ සීනුව නාදකර එය නැවැත් වූ පස ඉන් බැසගත් ඔහු තම ආයතනයට සම්බන්ධ ඒ ප‍්‍රදේශයේ සේවා ස්ථානයට ගොඩ විය. තමන්ට වූ ඇබැද්දිය කියූ පසු එම ස්ථානයේ අධිපතිගේ නියමය අනුව මේ හිතවතා වෙනත් කෙටි මගක් හරහා නියමිත බස්රියට ගොඩ නැංවීය. ඔහු නිවෙසට යන විට බොහෝ රෑ බෝවී තිබුණි.

පමාවට හේතුව බිරිඳ ඔහුගෙන් විමසුවාය. තමන්ට වූ ඇබැද්දිය ඔහු බිරියට කීවේය. මෙම සිද්ධියෙන් පසු තම ස්වාමිපුරුෂයා නිවෙසට එන බව දුරකථනයෙන් බිරියට දන්වන අවස්ථාවලදී ”අද නැග්ගේ හරි බස් එකට දැයි” අසනවාලූ.