සූර්පිට ඇල්ලූ පැදිකරු බැලුම් පුම්බන්න බෑ කියලා



නගරයට ගොම්මන ළඟා වෙමින් තිබිණි. අඩ අඳුරේ මහා මාර්ගයේ අසාමාන්‍ය අන්දමින් ගමන් කරන යතුරුපැදිකරුවකු පොලිස් ඇසට අසුවිණි. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු යතුරුපැදිකරුට නවතින්නැයි සංඥා කළහ. යතුරුපැදිකරු බීමත්ව සිටින බව පොලිස් නිලධාරීන්ට අවබෝධ විය. යතුරුපැදිකරු පොලිසියට ගෙන ගිය පොලිස් නිලධාරීහු බීමත්කම පරීක්ෂා කිරීම සඳහා ශ්වසන නළයක් (ඇල්කොලයිසරයක්) ඔහු අතට දෙමින් “
මේ බැලුම පුම්බන්න” යැයි කීහ.


රහමෙර පානයෙන් පදම් වී සිටි යතුරුපැදිකරු “බැලුම් පුම්බන්න අවුරුදු උත්සවයක් මෙතන නැහැනේ” කියමින් බැලූනය පිම්බීම ප්‍රතික්ෂේප කළේ ඒ වන විට පොලිසියේ තිබූ නිහඬතාව ද බිඳ දමමිනි. අනතුරුව යතුරුපැදිකරු මෙල්ල කළ පොලිස් නිලධාරීහු ඔහු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර බීමත්ව සිටින බව තහවුරු කර ගත් වෛද්‍ය වාර්තාව සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.

(මාතලේ අධිකරණ වාර්තාකරු - සසිරි රණහංස)