දකුණු පළාතේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ආයතනයක සේවය කළ ඔහු පසුගියදා රිය ගැටුමකට ලක්වූයේ බීමත්ව යතුරුපැදියක් ධාවනය කරවීමේ හේතුවෙනි. කටේ ඉදිරිපස දත් දෙකක් මේ නිසා ඔහුට අහිමි වූ අතර කඩිනමින් කෘතිම දත් ජෝඩුවක් සවිකර ගත් ඔහු ඥාතීන්ට කීවේ තවත් නම් බීමත්ව රිය නොපදවන බවය.
පසුගියදා ඥාතියකුගේ මංගල්‍ය උත්සවයකට සහභාගිවූ ඔහුට මධුවිත නැතිවම බැරිවිය. හිතවතුන් සමග මත් වතුර බොන අතරේ කට ගැස්මට ගෙනා කුකුළු මස් ද භාවිත කළ ඔහුට මස් කැබැල්ලක වූ කටු ගතිය නිසා එය රැගෙන ගොස් කුණු භාජනයකට දමා ආපසු ආවේ සංවිධායකවරුන්ට ද දෝෂාරෝපණ කරමිනි.
එහෙත් ආපසු පැමිණි පසු කටේ අමුත්තක් දැනුන හෙයින් දිවගින් දත් පරීක්ෂා කර බැලූ ඔහුට දෙවියන් සිහිවූයේ මස් කටුව සමග තම අලුත් දත් දෙක ද කුණු භාජනයට වැටී ඇති බව දැනුණු හෙයිනි.
නැවත කුණු භාජනය පිරික්සීමට තරම් කල්පනාවක් නොවූ හෙයින් කට වසාගෙනම ගෙදර ගිය ඔහු පසුදාම දන්ත වෛද්‍යවරයා හමුවී අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීමට මුදලක් බැන්දාලු.
(තිහගොඩ උපසේන ලියනගම)

