සුපිරි රියේ කුඩ්ඩන්ට විසිකළ කුඩු පැකැට්ටුව පොලිස් ලොක්කා අතට ගිහින්


(මාවතගම - කාන්චනමාලා බණ්ඩාර)
කුඩු ජාවාරම්කාරයන් දෙදෙනකු ගනුදෙනුකරුවන්ට ඇහිද ගැනීමට විසි කළ කුඩු පැකට් එක පොලිස් ලොක්කකු අතට පත්වීමේ සිද්ධියක් කුරුණෑගල නගරයෙන් ඇසේ. 


කුරුණෑගල නගරයේ එක්තරා ස්ථානයක පොලිස් ලොක්කකු තම වාහනය නතර කරගෙන සිටියේ තම ඥාතියකු පැමිණෙන තුරුය. සිවිල් ඇඳුමින් සැරසී සිටි ඔහුට තම ඥාතියා ඒමට ප්‍රමාද වූ නිසා විමසිලිමත් විය. 


තම වාහනය නුදුරින් යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු මහා මාර්ගයේ විදුලි කණුව අසලට යමක් විසිකර වේගයෙන් ඉදිරියට ඇදී යනු පෙණින. එහි වූ කඩදාසි බෝලය දිගහැර බැලූ ඔහුට එහි ඇත්තේ කඩදාසි කෑලි ගුලියක් බව හඳුනා ගත්තේය. එය තිබූ ස්ථානයටම විසි කළේය. 


තම ඥාතියා නොපැමිණි නිසා තවත් වේලා එම ස්ථානයේම සිටින්නට ඔහුට සිදුවිය. මඳ වේලාවකට පසු නැවත කලින් කඩදාසි බෝලය විසිකර ගිය තරුණයන් දෙදෙනා තවත් එවැනිම කඩදාසි ගුලියක් එම ස්ථානයටම විසිකර නොපෙනී යන්නට ගියේ යතුරුපැදිය ඉදිරියට ඇදෙන ගමන්මය. 


පොලිස් ලොක්කා එයද ඇහිද ගත්තේය. දෙවැනි කඩදාසි ගුලිය කුඩු පැකට් එකක් බව පරීක්ෂා කිරීමේදී ඔහුට දක්නට ලැබිණි. ඔහු එය අතට ගෙන තම වාහනය තුළට වී බලා සිටියේය.


ඒ සමගම විදුලි වේගයෙන් සුපිරි මෝටර් රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු විදුලි කණුව අසල තිබූ කඩදාසි බෝලය ඇහිදගෙන විදුලි වේගයෙන්ම යන්නට සැරසුණේ ඉතා කලබලයෙනි.


පොලිස් ලොක්කා ඔවුන්ට තම වාහනයේ වීදුරුව පහත්කර “ළමයි මෙන්න හරි එක ඕක කඩදාසි”, තමා ඇහිදි කුඩු පැකට් එක පෙන්නුවේය. පොලිස් ලොක්කා දෙස බැලූ තරුණයන් දෙදෙනා වට පිට නොබලා යන්නට ගියත් ඔවුන් පදවාගෙන ගිය සුපිරි මෝටර් රථයේ අංක තහඩුව ඔස්සේ පරීක්ෂණ සිදු කෙරිණි.