සුනිල්ලා මාරුවෙලා අකුරු දෙකකට හොල්මන් වෙලා


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉංග්‍රීසි අකුරු දෙකක් ඉල්ලා ලැබුණු දුරකතන පණිවිඩයක් නිසා උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවූ දෙදරු පියකු එම පණිවිඩයෙන් කියවුණු කරුණ සම්බන්ධයෙන් දියණිය කරණු පැහැදිලි කරදීමෙන් පසු ඔහුට හීන් දාඩිය දැමූ පුවතක් රජරට ගම්මානයකින් පසුගියදා වාර්තා විය.


මේ දෙදරු පියා සුනිල් යනුවෙන් හඳුන්වමු. පසුගිය දිනක සුනිල් නිවසට ආ අවස්ථාවේ දියණිය පැවසුවේ දුරකතන ඇමතුමක් දුන් අයකු පියා ගැන විමසූ බවය. නාඳුනන අය පසුව කතා කරනු ඇති බව ද දියණිය කීවාය. එසේම පසුව මේ පියාට ඇමතුමක් ලැබිණි. 


“සුනිල් අයියේ, මට ඉංග්‍රීසි අකුරු දෙකක් ඕනෑ. අරගෙන යන්න මම එන්න ඕනෑ කොහාටද” ඇමතුමෙන් කියවිනි. “මොන අකුරු දෙකක් ද” සුනිල් විමසුවේ කිසිවක් තේරුම් ගත නොවූ නිසාය. “අයියේ කින්ඩම් ජෙනරල්” ඊට පිළිතුරු ලැබිණි. 


“මම දන්න කින්ඩම් ජෙනරල් එකක් නැහැ” සුනිල් පිළිතුරු දුන් විට “අයියා ලෑලි ගෙදර සුනිල් අයියා නොවෙයිදැයි” විමසීය. “නැහැ” යන පිළිතුර ලැබුණු පසු නාඳුනන අය “අනේ සොරි මට වැරදුණා” කියමින් ඇමතුම විසන්ධි කරනු ලැබීය.


මේ දෙබස අසාගෙන සිටි දියණිය පියාගෙන් කරුණු විමසුවාය. “අනේ තාත්තේ ඔය කියන්නේ අර ගංජා විකුනන සුනිල් මාමා ගැනනේ. ඔය ඉල්ලන්න ඇත්තේ කේරළ ගංජා පැකට් එකක් වෙන්න ඕනෑ” දියණිය කීවාය. වැරදුණු පණිවිඩය අනුව තමන් මහත් අමාරුවක වැටෙන්නට ගිය බව තේරුම් ගිය සුනිල්ට හීන් දාඩිය දමන්නට වෙද්දී දියණිය පියා අස්වැසුවේ “තාත්තේ අපි වැරදි වැඩක් කරලා නැහැනේ” කියමිනි.