සීනි කියා යූරියා කටේ දාගෙන


වෙළඳසල් වලින් අතට අසුවෙන වියළි ආහාර වර්ග කටේ දමා ගන්නා පුද්ගලයකුට සිදුවු  අකරතැබ්බයක් පස්දුන් කොරළේ ත්‍රී රෝද රථගාලකින් ඇසුණි.
ඔහු කා සමගත් කුළුපග ත්‍රි රෝද රථ රියැදුරෙකි.


තම ත්‍රි රෝද රථයෙන් කුලී ගමන් ගිය ද නොගිය ද කවුරුන් හෝ මගියෙක් අතර මඟ පයින් යනු දුටු විට රථයට නංවා ගනී. විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට එම උපකාරය වැඩිපුර කරනු ලබන  බව ද බොහෝ දෙනා දනිති.


ගමනාන්තය දක්වාම විවිධ දේ කතා කිරීමට ද දක්ෂ ඔහු මෙසේ යන එන අතර තම මගියා වෙළඳසැලකට ගොඩ වූයේ නම් ඔහුද ඒ තුළට වැද සෝයා මීට්, හාල්, සීනි, පරිප්පු ආදිය ස්වල්පයක් කටේ දමා ගනි.


ඇතැම් අවස්ථාවල රට ඉඳි, වියළි මිදි, ආදිය ද මෙසේ කටේ දමා ගනී.


දිනක් මේ කුලී රථ මිතුරා සමග බොහෝම සමීපතම මගියෙක් කුලී ගමනක් යමින් සිටියේය.


මගියා නගරයේ  වෙළඳසළකට ගොඩවුයේය. මද වේලාවක් ගත විය. තමා සමග පැමිණි මගියා ප්‍රමා ද වූ නිසා ඔහුද වෙළඳසල තුළට ගියේය.

නිරන්තරයෙන් නාද වෙන තම ජංගම දුරකථනය ඒ මොහොතේ ද  නාද විය.


දුරකථනය වම් කනට ගෙන පිළිතුරු සපයමින්ම වෙළඳසල ඇතුළටම ගිය ඔහු මඳ වෙලාවකින් එක් වරම මහා හයියෙන් වමනය දාන්නක් මෙන් කටින් හඬ පිට කරමින් වෙළඳසලෙන් පිටතට දිව යන්නට වූයේය..


වතුර... වතුර... අහල පහළ සිටි පාරිභෝගිකයෝ ද කලබල වූහ. ඔහුගේ කෙඳිරි හඬට වෙළඳසලේ සේවකයකු ජලය බඳුනක් ගෙන දිව විත් අත තැබුවේය..  දෙතුන් වතාවක් කට සෝදා හැර  මට අමතකවෙලා සීනි කියලා මාර දෙයක්නේ කටේ දාගෙන තියෙන්නේ. එසේ කියමින් ඔහු නිසොල්මනේ ගොස් ත්‍රීරෝද රථයෙන් වාඩි විය..


දුරකථන ඇමතුමේ කල්පනාවෙන් ඔහු පැමිණ සිටියේ  කෘෂි රසායන අලෙවිසලකට බව ඔහුට අමතක වී තිබුණි..


යූරියා කවරය එකවරම සිනි යැයි සිතා ඉන් අහුරක් මුව තුළට දමා ගැනීම අකරතැබ්බයට හේතුවී තිබුණි.

(වලල්ලාවිට - විශ්ව ගැමුණු ප්‍රියංකර)