(පොල්ගස්ඕවිට - එස්. වික්‍රමආරච්චි)
සීනි කරිඤ්ඤං මුට්ටිය පදමට පැසී ඇති බව ගනුදෙනුකරුවන්ට දැනුම්දීම සඳහා අපූරු සන්නිවේදන ක්‍රමයක් යොදා ගැනීම පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

ගෘහ කර්මාන්තයක් ලෙස සීනි කරිඤ්ඤං නිපදවා විකිණීම වසර තිහ හතළිහක් තිස්සේ ඔහුගේ රැකියාව විය. වසරකට දෙතුන් වරක් නීතියේ රැහැනට අසුවුවද රැකියාව අත්හලේ ඔහු නොවේ.
උදෑසන පටන් ඇදී එන ගනුදෙනුකරුවෝ කරිඤ්ඤං මුට්ටිය පැසෙන තුරු මුදලාලි කියන ඕනෑම දෙයක් කරති. ඇතැම් අය දර පළති. තවෙකෙක් කඬේ යයි. මුදලාලිගේ නිවසේ වළං පවා සෝදන්නේ ඔවුන් බව ප්‍රසිද්ධ රහසකි.
මුදලාලි ළඟ හොඳ යක් බෙරයක් ඇත. විවේකයක් ලද විට බෙරය ගැසීම ඔහුගේ එකම විනෝදාංශයයි. බීමට පැමිණෙන ඇතැම් අය ද මුට්ටිය පැසෙන තුරු බෙරට තට්ටුවක් දෙකක් දැමීමට මාන බලති. එහෙත් ඊට මුදලාලිගෙන් ඉඩක් ලැබෙන්නේ නැත. මුදලාලි නුරුස්නා දෙයක් යමෙකු කළහොත් මුදලාලි ඔවුනට බණින්නේ බල්ලන්ට මෙනි.
කෙසේ වෙතත් බීමට පැමිණෙන ඇතැම් අයගේ හැසිරීම මුදලාලිගේ බිරිඳට ඇල්ලුවේ නැත. සමහරු සුරුට්ටු පත්තු කිරීමට ගින්දර ඉල්ලාගෙන හෝ බීමට වතුර ඉල්ලාගෙන කුස්සියට පැමිණීම ඇයට මහත් හිසරදයක් විය.
වෙලාවක් කලාවක් නොමැතිව පැමිණෙන මිනිසුන්ගේ කරදරයෙන් මිදීමට කල්පනා කළ ඇය ඒ පිළිබඳව යෝජනාවක් සිය සැමියාට ඉදිරිපත් කළාය.
“මේ ඔහේ ඔය හිතුණු හිතුණු වෙලාවට බෙරේ ගහන එක නතර කරන්න. මුට්ටිය පැහුණම ගනුදෙනුකාරයන්ට දැනුම් දෙන්න විතරක් බෙරේ ගහන්න. එතකොට මටත් මෙතන නිස්කලංකව ඉන්න පුළුවන්”.
බිරිඳගේ අවවාද පිළිගත් මුදලාලි ඒ බව ගනුදෙනුකරුවන් ද දැනුම්වත් කර “මුට්ටිය පැහිලා හනික වරෙල්ලා, මුට්ටිය පැහිලා හනික වරෙල්ලා” යන බෙර පදයෙන් පණිවුඩය දුන්නාලු.

