කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
පාසල් ආපන ශාලාවෙන් සිසු බිලට තේ බී ඉතුරු මුදල සාක්කුවේ දමාගෙන යන ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
ඔහු කවදාවත් රුපියලක්වත් වියදම් නොකර තේ බොන ගුරු පියෙකි. පාසල් විවේක කාලයේ දී කාගේ හෝ පසුම්බියකින් තේ බීමට ඔහු තරම් රුසියෙක් මේ විදුහලේම නොවීය. වඩාත්ම පුදුමය නම් මේ ගුරු පියා පාසලේ සිසුන්ගේ පසුම්බියට ද බැස තේ බීමය.
විවේක කාලවල දී පාසලේ උසස් පෙළ සිසුන් ආපන ශාලාවේ තේ බොන තැනට ඔහු යන්නේ අනාරාධයෙනි. පාසලේ රසවත් කතාවකට මුල පුරමින් එතැනට යන මේ ගුරු පියාට ද සිසුන් ඇරයුම් කරන්නේ කෑමට දේවල් ද ඔහුට සපයමිනි. තේ බී අවසන් වූ පසු ඔහු සිසුන්ගෙන් සල්ලි ඉල්ලා ගන්නේ මදි පාඩුවක් වුවහොත් තමා එය ගෙවා දමනවා යැයි කියමිනි.
කවදාවත්ම බිවූ තේවලට සිසුන් අඩුවෙන් මුදල් නොදෙන බව දන්නා ඔහු දෙන මුදල් ඉල්ලාගෙන ආපන ශාලාවේ අයකැමිට මුදල් ගෙවන්නේ සිසුන්ට තේ අරන් දුන්නේ තමන් බවද අඟවමිනි.
ඒ විතරක්ම නොවේ ගෙවා ඉතුරු වූ මුදල ද ඔහු සාක්කුවේ දමාගෙන යන්නේ හීන් සීරුවටය.