(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිසිල් පැන් දන්සලකට ආධාර එකතු කර ඇල්වතුර දුන් පුවතක් සබරගමුව පළාතෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මෙම දන්සලට මුදල් එකතු කළ පුද්ගලයා බීමට ඇබ්බැහි වූවෙකි. බීමට මුදල් නොමැති වූ අවස්ථාවේ ඔහුට කදිම උපායක් කල්පනා විය. ඒ නම් දන්සලක් ලබාදීම සඳහා ආධාර එකතු කිරීමය.
සැලසුම් කරගත් පරිදි මුදල් එකතු කිරීමට පටන් ගත් අවස්ථාවේදී දන්සල පැවැත්වෙන බව කියා එම දන්සලේ සිසිල් පැන් ලබාදෙන බව පවසා ආධාර එකතු කිරීම පටන්ගෙන ඇත. කෙසේ වෙතත් මොහු ගැන තතු දත් අය මොහුට මුදල් ලබාදී ඇත්තේ වැරැදි වැඩ කළත් යහපත් කටයුත්තක් සිදුකිරීමට යන බව සිතාය. මොහු ද අරක්කු බෝතලයේ මුදල් සොයාගෙන මුදල් එකතු කිරීම නවතා දමා ඇත. සුපුරුදු පරිදි දන්සලට ගිය පිරිස දුටු දෙයින් දෙවියන් සිහිවිය.
මොහු ඇල් වතුර විදුරුවකට අයිස් කැට දමා දෙන අයුරු දැක ඒ පිළිබඳව විමසූ විට පවසා ඇත්තේ මේවා සිසිල් පැන් කියාය. කටඋත්තර නැතිවූ පිරිස මොහුගේ ගැටයට හසු වූ බව තේරුම් ගෙන ඇල්වතුර බී ආපසු පැමිණියලු.

