සිල්ගත් උපාසක කකුල් අතගාලා


(අකිල බද්දෙවිතාන)

සිල් ගන්නා මුවාවෙන් පන්සලට ගොස් දැරියකගේ පාද අතගෑ කාමාතුරයකු සම්බන්ධ පුවතක් ගම්පහ ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

එදින පුර පසළොස්වක පෝය දිනයක් බැවින් බොහෝ පිරිසක් එම පන්සලට සිල් සමාදන් වීම සඳහා පැමිණ සිටි අතර කලකට පෙර පොලිස් සේවයෙන් විශ‍්‍රාම ගිය නිලධාරියකු ද එහි පැමිණ සිටියේ සිල් සමාදන් වීමේ අරමුණ ඇතිවය.

උදෑසන සිල් සමාදන් වූ අනෙක් පිරිස මෙන්ම පොලිස් විශ‍්‍රාමිකයා ද තැනින් තැන රැුඳී සිටිමින් කාලය ගත කළේ පන්සලේ අවට සිරි නරඹමිනි. මේ අතර සිල් ගැනීමට පැමිණ සිටි දැරියක් ද ඔහු අසල ගැවසුණාය. තමා සමාදන් වූ සීලය ද නොතැකූ මෙම වයස්ගත පුද්ගලයා දැරිය සමීපයට කිට්ටු කළේ සිත තුළ කකියමින් තිබූ පහත් කාමාශාවක් ඉස්මතු වීම නිසාය. කෙතරම් දැහැමි පරිසරයක වුවද තම සිත පාලනය කර ගත නොහැකිවූ ඔහු දැරියගේ පාද ස්පර්ශ කළේ බොහෝ පිරිසක් අවට සිටියදීය.

ඒ සමගම තමාට වූ අකරතැබ්බයෙන් කලබලයට පත් දැරිය කෑ ගසා ඉවතට දිව ගිය අතර සිද්ධිය පිළිබඳ අවට සිටියවුන්ද දැනුම්වත් විය. ඒ සමගම පිරිස ඔහු වටකරගත් අතර වහාම පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදුන් එම පිරිස වහා ඔහු සේවය කළ තැනටම බාරදීමට කටයුතු කළේ මෙතෙක් කලක් සේවය කරද්දී ඉගෙන නොගත් පාඩමක් කෙසේ හෝ ඉගැන්වීමේ අදිනට ඇතුවය.