පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන කාන්තාවන් දෙදෙනෙකි. දිනක් එක් කාන්තාවක් අනෙක් කාන්තාව අමතා ”ගෙදර තීන්ත ගාන්නත් තියෙනවා. කාගෙන්හරි පොලියට රුපියල් දහදාහක් අරන් දෙන්න පුළුවන් දැයි” විමසුවාය. ”ගෙවල් පැත්තේ තැනක් තියෙනවා. මම බලන්නම්” අනෙක් කාන්තාව පැවසුවාය.”අනේ කොහොම හරි වැඬේ කරලා දෙන්න. පොලිය නොවරදවාම අපි පඩි දවසට ගෙවනවා” පළමු කාන්තාව කිවාය. නිවෙසට පැමිණ මුදල් ලබාදීමට පොරොන්දු වූ කාන්තාව ඇය හඳුනන පොලියට මුදල් දෙන තැනැත්තියක් හමුවුවාය.
”අක්කේ මට මුදල් හදිස්සියකට රුපියල් දහදාහක් ඕනේ” ඇයගේ ඉල්ලීම විය. ”ඔයා මාත් එක්ක ගනුදෙනු කරන නිසා සල්ලි දෙන්නම් සීයට දහයේ පොලියට” පැවසූ පොලී කාන්තාව රුපියල් දස දහසක් දුන්නාය. පසුදින සේවා ස්ථානයේ යෙයෙහළිය හමුවූ කාන්තාව ”බොහොම අමාරුවෙන් මම ”සියයට විස්සේ” පොලියට සල්ලි ටික ගත්තා”. යැයි පවසා රුපියල් දස දහස යෙහෙළිය අත තැබුවාය.
සෑම මාසයකම වැටුප් දිනයේදී සියයට විස්සේ පොලිය වශයෙන් රුපියල් දෙදහසක් ලැබිණි. පොලිය ගත් යෙහෙළිය පොලී කාන්තාව හමුවී සියයට දහයේ පොලිය වශයෙන් රුපියල් දහස බැගින් දී ඉතිරි රුපියල් දහස එකතු කළාය. මාස එකොළහක් ගතවූ පසු තමා එකතු කළ රුපියල් එකොළොස් දහස පොලී කාන්තාවට දී මුදල සහ පොලිය පියෙව්වාය.
මේ බව නොදන්නා මුදල් ණයට ගත් කාන්තාව පොලිය වශයෙන් සෑම මසකම රුපියල් දෙදහස බැගින් තම යෙහෙළියට ගෙවන බව කොළඹින් වාර්තාවේ.
(කි‍්‍රස්ටෝපර් සීපියන්)

