(මාවරල - පී.එස්. මද්දුමගේ)
ගම්මානයේ ජීවත්වන වැඩිහිටි පරම්පරාව අධ්‍යාපනය අතින් දියුණුවක් නොලද අය වූහ. සියදෝරිස් කියන පුද්ගලයා යමක් තේරුම් ගැනීමට නොහැකි අවබෝධයක් නැති අයෙක් විය.
අවිවාහක සියදෝරිස් සිය සහෝදරයා වූ තෙපානිස්ගේ ගෙදර ජීවත්විය. පියා ජීවතුන් අතර නැති අතර තෙපානිස්ගේ මව ජීවත් වූයේද මෙම නිවෙසේය.
තෙපානිස්ගේ බිරිය ගමේ තේ ඉඩම්වල අමු තේ දලු නෙළා ලබා ගන්නා මුදලින් පවුලේ වියදම් සරිකර ගත්තාය. තෙපානිස්ට පිය උරුමයෙන් ලැබුණ කුඹුරු වැඩට, කරෝලිස්, අදිරියා, කොරනේලියා යන අය උදව්වට පැමිණි අතර, ඔවුහු ඔහුගේ ඥාතීන් මෙන්ම අහල පහල සිටි හිත මිතුරෝද වූහ.
පසු ගිය වැසි දිනක තෙපානිස්ගේ මව අසනීප වූවාය. ගෙදර තිබූ කඩෙන් ගෙනා කෂාය බෙහෙත් බඩු තම්බා මවට පෙව්වද සනීපයක් නොවීය. වයස 80 ක් ඉක්මවා සිටි මහලු මව මධ්‍යම රාත්‍රියෙහි අවසන් හුස්ම හෙළුවාය.
පසු දින උදේ මරණය ගැන දැනුම් දීමට ගිය අවස්ථාවේ “තෙපානිස්ට දැන ගැනීමට ලැබුණේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කර කොරනේල් විභාගය පැවැත්විය යුතුව ඇති බවය.
පොලිසියට ගොස් පුරුද්දක් නැති තෙපානිස් ගෙදර පැමිණ ඥාති පුත්‍රයකු ඒ සඳහා යවා, සියදෝරිස්ට කොර්නේල් එක්ක එන්නට යැයි කීවේය.
කිසිවගවිභාගයක් නැතිව එක පිම්මේ සියදෝරිස් කොර්නේල් එක්ක ඒමට පිටත් විය.
පොලිස් නිලධාරියකු පැමිණ කරුණු සොයා බලා, හදිසිමරණ පරීක්ෂකවරයාට ලියුමක් ලියන අතරේ, සියදෝරිස්, කුඹුරු වැඩට එන යන ගමේ කොරනේලිසා සමග ඉක්මන් ගමනින් පැමිණ “අයියේ ඕන් මම කොරනේලිසා එක්ක ආවා, යයි කීය.
පොලිස් රාලහාමි කොරනේලිසා දැක, මේ කවුද? මෙයා නෙවි, හදිසි මරණ පරීක්ෂකතුමා තමයි කැඳවන්න ඕනෑ යයි පැවැසීය.
සියදෝරිස් කේන්තියෙන් මෙන් මහ හඩින් කීවේ, “ඇයි හත්වලාමේ මට අයිය කිව්වෙ කොරනේල් එක්ක එන්න කියල නේ. මම දන්න කොරනේල් තමයි මේ එක්කන් ආවෙ.
පොලිස් රාලහාමි ඇතුළු ඒ අවස්ථාවේ මළගම ආරංචි වී තෙපානිස්ගේ නිවෙසට පැමිණ සිටි පිරිසට සිනාව නතර කර ගැනීමට නොහැකි විය.