(තිහගොඩ උපසේන ලියනගම)
සෞඛ්‍ය සායනයට පැමිණි ගැබිනි මවකගේ ප්‍රකාශයෙන් අන්ද මන්ද වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියක පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දකුණු පළාතේ වෙරළබඩ සෞඛ්‍ය මධ්‍යස්ථානයකිනි.

මව්වරුන් සඳහා වූ මෙම සායනය ආරම්භයේදීම සෞඛ්‍ය නීති රීති පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ නිලධාරිනිය මව්වරුන්ට කීවේ මුඛ ආවරණය හා මීටරයේ දුරස්ථභාවය හැමවිටම ආරක්ෂා කරගත යුතු බවය. ‘‘ගෙදරදිත් එහෙම ඉන්න ඕනදැ’’යි එක් කටකාර මවක විමසුවෙන් ඇය කිවේ ‘‘පුළුවන්නම් හොඳයි’’ කියාය.
එවිට එම මව අසල සිටි තවත් මවකට කිසිවක් කීවෙන් රැස්ව සිටි කීප දෙනෙක් අතින් කට වසාගෙන සිනා සුනහ. එය නිලධාරිනියට නෑසුනත් විමතියට පත් ඇය ඒ ගැන ඇසුවාය. කටකාර මව නිහඬවුවත් අසල සිටි මවක් ‘‘මිස් මෙයා කියනවා මේ නීතිය ගෙදර එක්කෙනාට කලින් උගන්වලා තිබුණා නම් අපට මෙහෙම වෙන්නෙ නෑ කියලා’’ කීවෙන් සියල්ලෝම මුහුණ සඟවා ගත් අතර නිලධාරිනිය මොහොතක් යනතුරු හොල්මන්වී සිටියේ ඊට සුදුසු පිළිතුරක් කීමට නොහැකි වූ නිසාලු.

