සැමියාට කොකා පෙන්වා බිරීද මිස් කෝල් පෙම්වතා එක්ක ඉගිලිලා


නිකවැරටිය ප්‍රියාණි මංගලිකා 


මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් කෝල් පෙම්වතා සමඟ යළි පැනයාමේ පුවතක්  කුරුණෑගල දිසාවේ එක්තරා ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය  මෙසේය.
මෙම කාන්තාව වයස අවුරුදු තිස් පහක හතළිහක පමණ වයසක පසුවන වසර කීපයක්  විදෙස් ගතව සිට පැමිණි අයෙකි. එදිනෙදා කුලී වැඩ කරමින් දරුවන් තිදෙනෙකු සමග ජීවත් වූ සැමියාගේ ඇඳුම් පැලඳුම්, හැඩරුව පවා නොරිස්සූ ඇය, අඬ දබර කරමින් සිටින  මොහොතක, ඇයට අවුරුදු 25 පමණ වූ මිස් කෝල් පෙම්වතා හමු වන්නේ මේ අතරතුරදීය.
වයස අවුරුදු විසි පහක පමණ තරුණ මිස් කෝල් පෙම්වතා  ඇය සමඟ පෙමින් බැඳෙන්නේ කාන්තාවගේ සිතුම් පැතුම් ඉටු කරමිනි. පෙමින් බැඳී ටික දිනකින් ඇය බාල වයස් පිරිමි දරුවා සහ ගැහැනු  දරුවන් දෙදෙනා  ද අතහැර දමා මිස් කෝල් පෙම්වතා සමඟ රහසින් පැන යන්නේ කාටත්  හොර රහසින්ය. 
බිරියට පණ මෙන් ආදරය කළ සැමියා මේ කිසිත් නොදැන හඬා වැළපෙමින් බිරිය සොයන්නට විය. එහෙත් කිසිඳු තොරතුරක් නොමැතිව  කල් ගත කරමින් සිටින අතරේදි බිරියගේ අතුරුදන්වීම පිළිබඳව සැමියා පොලීසියට කර තිබූ  පැමිණිල්ලකට අනුව පොලිසියද මහත්  වෙහෙසක් දරා බිරිය අත්අඩංගුවට ගනු ලැබීය.
 බිරිය ලාබාල දරුවන් තිදෙනෙකු දමා වෙනත් අයකු සමඟ පැනගොස් සැඟවී සිටි  බවට අනාවරණය කරගත් පොලිසිය ඇය අධිකරණය ඉදිරිපත් කිරීමෙන් රක්ෂිත බන්ධනාගාර ගත වන්නේ සැමියාට ද  ඉමහත් දුකක් ඇති කරමිනි. 


දින දාහතරකට පසුව බිරිය යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇයට ඇප ලබා දීමට ඉදිරිපත් වන්නේ පැරණි සැමියාය. සැමියා බිරියට ඇප ලබාදී මුදාගෙන, බිරිය කළ වැරදි සියල්ල අමතක කර  දමා සමගි සමාදාන වී පෙර පරිදි දරුවන් සමඟ ජීවත් වීමේ අරමුණින් බිරිය සමඟ යළි නිවසට යෑමට දෙදෙනාම මගට බසින්නේ මහත් සතුටිනි. 
මද දුරක් ගිය බිරිය සැමියාට බුලත් විටක් රැගෙන එන ලෙස කියා ඇත. සැමියා අත තිබූ මුදල් සහ ලියකියවිලි සහිත බෑගය ද බිරිය අතට දී බුලත් විටක් මිලදී ගැනීමට පාර පැන එය මිලදී ගැනීමට උත්සහ කරන විටම බිරිය ත්‍රීරෝද රථයකට නගින අයුරු දැක ඇත. වහා ක්‍රියාත්මක වූ  සැමියා පාර පැන ත්‍රීරෝද රථයේ එල්ලී එයට නැග ගෙන ඇත. කාන්තාවගේ මිස් කෝල් පෙම්වතා ත්‍රීරෝද රථයේ සිටිනු දුටු සැමියාට දවල් තරු පෙනිනි.
බිරිය සැමියාට පහර දී, ත්‍රීරෝද රථයෙන් බිමට තල්ලු‍ කර දමා මිස් කෝල් පෙම්වතා සමඟ යළි පැන යන්නේ සැමියාගේ සියලු‍ බලාපොරොත්තු සුන් කරමිනි. පසුව සිරුරේ තැවරුණු වැලි පිසදා ගත් සැමියා පොලීසියට ගොස් තමාට වූ අකරතැබ්බය  පිළිබඳව පැමිණිල්ලක් ද  සටහන් කර හිස් අතින්ම ආපසු නිවසට පැමිණියේලු‍.