ශ්‍රී ලංගම බස් කොන්දොස්තරවරයකු වූ තම සැමියාගේ අනියම් පෙම අතටම අල්ලා ගැනීමට සමත් වූ කාන්තාවක් පිළිබඳව කුරුණෑගලින් වාර්තා වේ. දෙදරු පියකු වූ කොන්දොස්තර සැමියා තම බිරිය ද සමග ප‍්‍රීතියෙන් පවුල් ජීවිතයක් ගෙන ගිය අයෙකි. නමුත් එම පවුලේ සමගියට කණ කොකා හැඬුවේ සැමියා සේවය කරන බසයේ දිනපතාම ගමන් කළ තරුණියක සමග අනියම් සබඳතාවක් ඇති කර ගැනීම නිසාය.
සැමියා බසයේ සේවය කරමින් සිටින අතරේදී එම බසයේම ගමන් කරන තරුණියක් සමග පෙම්බස් දොඩමින් ගමන් කරන බව බිරියට දිනපතාම තොරතුරු ලැබෙන්නට විය. කුමන ආකාරයේ තොරතුරු ලැබුණද මෙය අතටම අල්ලාගෙන ඇත්ත නැත්ත දැන ගත යුතු යැයි සිතූ බිරිඳ ඒ සඳහා අපූරු උපක‍්‍රමයක් යෙදුවාය. මුහුණද ඇතුළුව සම්පූර්ණ සිරුරම ආවරණය වන ආකාරයේ කාන්තා ඇඳුමක් තම හිතවත් කාන්තාවකගෙන් ලබාගත් ඇය ඉන් සැරසී සැමියා සේවය කරන බසයට ගොඩවූයේ ලෝගුව තුළ පොලූ කැබැල්ලක් ද සඟවා ගෙනය.
මේ සිටින්නේ තම බිරිය යැයි නොදත් සැමියා ඇයට ද ටිකට් පතක් ලබාදී බසයේ ඉස්සරහට යන ලෙස පැවසූවේ තරමක් සැරපරුෂවය. එසේ කී සැමියා ඉන් පසුව බසයේ පිටුපස අසුනක අසුන්ගෙන සිටි තම පෙම්වතිය වෙත ගොස් පෙම්බස් දොඩමින් උකුළු මුකුළු කරන්නට විය. මේ බව දුටු බිරියට යක්ෂාරූඩ වී උන්හිටි තැනද අමතක විය. ඇඳුමේ හිස් ආවරණය ගලවා දැමූ ඇය සඟවාගන සිටි පොල්ලෙන් තම සැමියාටත් ඔහුගේ අනියම් පෙම්වතියටත් පහර දෙන්නට වූයේ ‘‘මේකා බැඳලා දරුවොත් ඉන්න තාත්තා කෙනෙක්. දැන් කොල්ලා වගේ බස් එකේ පෙම් කෙළිනවා” යනුවෙන් කෑ ගසමින්ය.
පහරකෑමට ලක්වූ පෙම්වතිය බසයෙන් බැස පලා යන්නට වූ අතර කොන්දොස්තරවරයාගේ බිරියද ඇය පසුපස හඹා යන්නට වූයේ සිදු වූ දේ වටහාගත නොහැකිව කොන්දොස්තර සැමියා පුදුමයෙන් මෙන් බලා සිටියදීය.

